පේදුරුතුඩුව වෙඩි තැබීම සම්බන්ධයෙන් විශේෂ පොලිස් පරීක්ෂණයක්

Image caption වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සිදු කෙරෙමින් ඇත.

පේදුරුතුඩුව 'මනාල්කාඩු' හි සිදු වූ පොලිස් වෙඩි තැබීමෙන් පුද්ගලයකු මරණයට පත්වීමෙන් අනතුරුව එහි පවතින තත්වය පාලනය සඳහා විශේෂ කාර්ය බලකාය(STF) යොදවා ඇති බව පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

බීබීසී සිංහල සේවය මගින් කළ විමසීමකට පිළිතුරු දුන් පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ඊයේ ඉරිදා(ජූලි 09) සවස පොලිස් වෙඩිතැබීමකින් සිදු වූ මරණය සමඟ එම ප්‍රදේශයේ ගැටුම්කාරී තත්වයක් මතු වූ බව සඳහන් කළේය.

කෝපයට පත් මහජනතාව පොලිස් වාහනයකට පහර දී ඇති අතර, වෙඩි තැබීමට සම්බන්ධ යයි සැක කෙරෙන උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවසට ද ගල්මුල් ආදියෙන් පහර දී ඇති බව පොලිස් අධිකාරීවරයා තහවුරු කරයි.

වෙඩි පහරට ගොදුරුව මරණයට පත් වූ තැනැත්තා මෙන්ම වෙඩි තැබීමට සම්බන්ධ යයි සැක කෙරෙන උප පොලිස් පරීක්ෂකවරයා යන දෙදෙනාම 'නෙල්ලිඅඩි' ප්‍රදේශයේ පදිංචි කරුවන් වන හෙයින් එම ප්‍රදේශයේ ගැටුම්කාරී තත්වයක් පවතින බවත් පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයා සහ තවත් පොලිස් භටයෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් ජූලි 24 වෙනිදින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලද බවත් ඔහු සඳහන් කළේය.

අනවසරයෙන් වැලි ප්‍රවාහනය කෙරෙමින් තිබුණ ලොරියක් නතර කරන ලෙස සිදු කළ පොලිස් අණ දීමක් නොතකා එම ලොරිය පෙරට ධාවනය කිරීමෙන් අනතුරුව පොලිසිය ඊට වෙඩි තබා ඇති බව පළමුව ලද වාර්තා වලින් ප්‍රකාශ විය.

මරණයට පත් තැනැත්තා වැලි ලොරියේ ගමන් ගත් පුද්ගලයකු නොවන බවට පළ වෙමින් පවතින අදහස් පිළිබඳව බීබීසිය විමසීමක් කළ විට ඊට පිළිතුරු දුන් පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර "ලොරියේ ගමන් ගනිමින් සිටි දෙදෙනෙක් පළාගොස් ඇති හෙයින් ඔවුන් අත්අඩංගුවට ගන්නා තෙක් ඒ පිළිබඳව කිසිවක් සඳහන් කළ නොහැකි" යයි කියා සිටියේය.

එම වෙඩි තැබීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පොලිස්පතිවරයා විසින් සහකාර පොලිස් අධිකාරීවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් පේදුරුතුඩුවට යවා ඇති බවත් පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

සමාන පුවත්;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර