දඹුලු ලෙන් විහාරය වැසෙන්නේ ඇයි?

ඹුලු ලෙන් විහාර සංකීර්ණය Image copyright Getty Images

මූලික අදියරේ සංරක්ෂණ සහ පරීක්ෂණ කටයුතු සඳහා ඓතිහාසික දඹුලු ලෙන් විහාර සංකීර්ණය නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය තීන්දු කළේය.

පුරාවිද්‍යා උරුමයන් සංරක්ෂණය සහ බෞද්ධ වෙහෙර විහාරස්ථාන සංරක්ෂණය ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් දියත් කරනු ලැබ ඇති ව්‍යාපෘති සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් සඳුදා (ජුලි 10) පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය රැස් විය.

දැඩි ලෙස විනාශ වී යාමේ අවදානමට ලක්ව ඇති ලෝක උරුමයක් වන රංගිරි දඹුලු ලෙන් විහාර සංකීර්ණය වේගවත්ව සංරක්ෂණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට එහිදී තීන්දු කෙරුණු බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඒ අනුව විහාර සංකීර්ණයේ ඇති ලෙන් පහෙන් ප්‍රමුඛතාව අනුව එක් එක් ලෙන බැගින් ක්‍රමානුකූලව සංරක්ෂණය කිරීමට තීන්දු කර තිබේ.

රංගිරි දඹුලු ලෙන් විහාරය සම්බන්ධයෙන් ICOMOS (පුරාවිද්‍යා ස්මාරක සහ ස්ථාන සම්බන්ධ අන්තර්ජාතික කවුන්සිලය) සහ යුනෙස්කෝ සංවිධානය ලබා දී ඇති නිර්දේශ, පුරා විද්‍යා චිත්‍ර පිළිබඳව ප්‍රකට ජාත්‍යන්තර සංරක්ෂණ විශේෂඥයෙකු වන මහාචාර්ය වර්නර් ස්මිත්ගේ වාර්තා ද, ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා වියතුන්ගේ වාර්තා සහ අදහස් ද එහි දී අවධානයට ලක් වූ බව ඉහත කී නිවේදනයේ දැක්වේ.

එම නිවේදනයේ සඳහන් පරිදි සංරක්ෂණ සහ පරීක්ෂණ කටයුතු සඳහා වසා තැබෙන කාලය තුළ ගනු ලබන පියවර:

Image copyright Getty Images
  1. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ බිතුසිතුවම් සංරක්ෂණ නිලධාරීන් දඹුල්ල විහාරයේ බිතුසිතුවම් සංරක්ෂණ කටයුතු සදහා පූර්ණ වශයෙන් යෙදවීම
  2. බිතුසිතුවම් සංරක්ෂණය සඳහා ප්‍රවීණතාවක් උසුලන සියලුම සංරක්ෂණ විශේෂඥයින් හට ආරාධනා කර සංරක්ෂණ කටයුතු සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීම
  3. දඹුල්ල විහාරයේ සාපේක්ෂ ආර්ද්‍රතාව දෛනිකව මැන ගැනීම සඳහා නිශ්චිත කාලයක් තුළ දී අර්ද්‍රතාමාන සවි කිරීමට කටයුතු කරන ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලට උපදෙස් දීම
  4. දඹුල්ල විහාරයේ දොරටුවලින් කුඹලුන් හා වෙනත් කෘමින් ඇතුල්වීම වැළැක්වීම සඳහා දැල් හෝ වෙනත් ආවරණ සවි කිරීමට පියවර ගන්නා ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලට උපදෙස් දීම
  5. දඹුල්ල විහාරයේ ලෙන් තුළ එක් වරකට සිටිය හැකි ආගන්තුකයින් සංඛ්‍යාව ගණනය කර එය පාලනය කිරීම සඳහා ස්වයංක්‍රිය දොරටු සවි කිරීම.
  6. දඹුලු විහාරය තුළ ක්‍රමවත් ආලෝක පද්ධතියක් සවි කිරීම.
  7. දඹුල්ල විහාරය තුළ ක්‍රමවත් ආරක්‍ෂිත කැමරා පද්ධතියක් සවි කිරීම.

සංරක්ෂණ කටයුතු වෙනුවෙන් වැයවන සමස්ත පිරිවැය මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් දැරීමට ද අදාළ සාකච්ඡාවේ දී එකඟතාව පළ වූ බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර