meethotamulla
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මීතොටමුල්ල ජනතාව දැන් කියන දේ

මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටී ජීවිත 32ක් අහිමිවීමේ ඛේදවාචකයට අද දිනට (ජූලි 14) මාස තුනක් ගතවී තිබේ. නිවාස 60ක් සම්පුර්ණයෙන් විනාශ වී හා තවත් නිවාස 22ක් අර්ධ හානියට ලක්කළ එම සිද්ධියෙන් අනතුරුව තවත් පවුල් ගණනාවකට එම ප්‍රදේශය හැර යාමට සිදුවූයේ එය අවදානම් කලාපයක් ලෙස නම් කිරීම හේතුවෙනි.

තම සහෝදර ජනයාගේ ද කැළි කසළ මෙන්ම බලධාරීන්ගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් අසරණවූ එම පිරිසගේ අද තත්ත්වය කුමක්දැයි බීබීසී සිංහල සේවය විසින් විමසා බලනු ලැබීය.

අනතුර සිදුවූ දිනවල අතිශය කාර්යබහුල වූ කුණු කන්ද සමීප ප්‍රදේශයේ ඇත්තේ පාලුවට ගිය ස්වභාවයකි.

"දැන් මෙතන කුණු දාන්නේ නම් නැහැ, ඒවගේම අපෙවත් කුණු එකතුකරන්නේ නැහැ, දැන් පුච්චන්නේ ඒකයි" කුණු කන්දට ආසන්න නිවසක් සමීපයේ කසළ පුළුස්සමින් සිටි ප්‍රදේශවාසියකු තත්ත්වය පැහැදිලි කළේය.

Image copyright SL AIR FORCE

තක්සේරු වටිනාකම මදි

කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කීර්තිරත්න පෙරේරා ප්‍රදේශවාසීන් පිරිසක් සමග කුණු කන්ද අසළට පැමිණියේ අප එන බවට කළ දැනුම්දීමෙනි. කලක් එක්ව සිටි අසල්වාසීහු අද වෙන් වෙන්ව දිවි ගෙවති. ඇතැමුන් රජය දුන් මහල් නිවාසවලත් තවත් අය කුලී නිවාසවලත් ජීවත්වන්නේ සිය පවුලේ සාමාජිකයන් වියෝවීමේ වේදනාවද සමගිනි.

"අපිට දීලා තියෙන නිවාස තක්සේරුව මදි, බලන්න මේ ගෙදරට ලක්ෂ 26යි දෙනවා කියන්නේ, කියන්න මට මේ වගේ ගෙයක් ඒ ගානට ගන්න පුළුවන්ද, කාමර 4යි බාත් රුම් 2යි, ටයිල් කරපු ගෙයක්" එම් රේණුකා ප්‍රශ්න කළේය. අවදානම් කලාපය හේතුවෙන් තම පවුල මෙම ප්‍රදේශයෙන් ඉවත්කළ බව පවසන ඇය හොදින් තිබු නිවසේ සියලු දොරවල්, උළුවහු, නානකාමර උපාංග ආදී සියල්ල මේවනවිට සොරු ගෙන ගොස් ඇති බව ඇය පෙන්වා දුන්නාය.

"මගේ ගෙදරට දීලා තියෙන්නේ ලක්ෂ 30ක්, බලන්න කාමර 3ක් තියෙනවා, ඉඩමට පස්සේ දෙනවලු, ඒ වුනාට මේ ලක්ෂ 30න් මේවගේ ගෙයක් හදන්න පුළුවන්ද" තවත් කාන්තාවක් තම නිවෙස පෙන්වමින් සඳහන් කළාය.

මෙම ඛේදවාචකය සිදුවුයේ රටේම කුණු තමන් පිට පැටවූ නිසා මිස ස්වභාවික විපතක් හෝ තම වරදකින් නොවන බව අද බලධාරීන්ට හා රටේ බහුතර ජනතාවට අමතකවී ඇති බවද ඔවුහු චෝදනා කරති.