ධීවරයන්ටත් පොලිතින් තහනම්!

Image copyright AFP
Image caption දීර්ඝ මුහුදු ගමන් සඳහා ගෙනයන පොලිතින් සහ ප්ලාස්ටික් ආපසු ගෙන එන්නේදැයි පරීක්ෂා කෙරෙයි

පොලිතින් සහ ප්ලාස්ටික් පාවිච්චිය සම්බන්ධයෙන් ලබන සැප්තැම්බර් මාසයේ පටන් බල පැවැත්වෙන තහංචිය සහමුලින්ම සාර්ථක කර ගැනීම උදෙසා මුහුදත් පවිත්‍රව පවත්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ධීවර ඇමති මහින්ද අමරවීර පවසයි.

බීබීසී සිංහල සේවය විසින් සිදු කරන ලද විමසීමක දී අදහස් දැක්වූ ඇමතිවරයා, මූලික පියවරේ දී ප්ලාස්ටික් නිෂ්පාදන සාගරයට ගෙන යාමෙන් වළකින ලෙස ධීවරයන්ගෙන් ඉල්ලා සිටින බව කියා සිටියේය.

"මූලික වශයෙන් අපි ධීවරයන්ට දඩ ගැසීම් ආදියට යන්නේ නැහැ. නමුත් පොලිතින් සහ ප්ලාස්ටික් නිෂ්පාදන ධීවරයන් විසින් මුහුදු ගමන් වලදී ගෙන යනු ලැබීම නතර කරවන්න අපට පුළුවන්" මහින්ද අමරවීර ඇමතිවරයා සඳහන් කළේය.

"පුංචි බෝට්ටුවකින් දිනපතා මුහුදු ගොස් ආපසු එන සාමාන්‍ය ධීවරයාගෙන් මේ කාරණයේ දී ලොකු බලපෑමක් නැහැ. ප්‍රශ්නය එන්නේ සති තුන හතර මුහුදේ රැඳී සිටින ට්‍රෝලර් යාත්‍රා මගින්. එම ට්‍රෝලර් යාත්‍රාකරුවන් පොලිතින් සහ ප්ලාස්ටික් ගෙන යන්නේ නම් නාවික හමුදාව විසින් සිදු කරන පරීක්ෂණවලදී එය සොයා ගන්න පුළුවන්"ඇමතිවරයා පවසයි.

Image caption සති කීපයක් මුහුදේ ගත කරන ට්‍රෝලර් යාත්‍රා පරීක්ෂා කරන බව ආමතිවරයා පවසයි

මුහුදට ගෙනයන ප්ලාස්ටික් වතුර බෝතල් සහ වෙනත් එවැනි නිෂ්පාදන වේනම් ධීවරයන් ඒවා මුහුදට විසි නොකොට ආපසු ගෙනැවිත් තිබේද යන්න පරීක්ෂා කිරීමේ වැඩ පිළිවෙලක් ද අනුගමනය කළ හැකි බවට ඇමතිවරයා යෝජනා කරයි.

"ඒ වගේම ධීවරයන්ට මුහුදු ගමන් වලදී ප්ලාස්ටික් බෝතල් වෙනුවට වීදුරු නිෂ්පාදන ආදේශකයක් විධියට යොදා ගන්න පුළුවන්" ධීවර ඇමති මහින්ද අමරවීර කියා සිටියේය.

පොලිතින් එරෙහි ඉතිහාසය

ශ්‍රී ලංකාව පොලිතින් වලින් තොර රටක් බවට පත් කර ගැනීමේ ප්‍රයත්නය 1990 දශකය තරම් ඈත කාල වකවානුවක් කරා දිවෙන බව පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පරිසරවේදී හේමන්ත විතානගේ පවසයි.

පොලිතින් පාවිච්චිය නතර කිරීමේ නව නීති රෙගුලාසි සම්පාදනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද කමිටුවේ සාමාජික හේමන්ත විතානගේ බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක් වෙමින්, පොලිතින් සහ රිජිෆෝම් (rigifoam ) කිසිදු සංයමයකින් තොරව පාවිච්චි කරනු ලැබීම ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බරපතළ ව්‍යසනයක්ව ඇතැයි කියා සිටියේය.

Image caption ඔළුවිල් ධීවර වරාය

ආණ්ඩුව විසින් තීන්දු කරනු ලැබ ඇති නව වැඩ පිළිවෙල අනුව ලබන සැප්තැම්බර් මාසයේ පටන් පොලිතින් සහ රිජිෆෝම්(rigifoam ) පාවිච්චිය සහමුලින්ම තහනම් වෙයි.

" 2005 වසරේ දී ශ්‍රී ලංකාවේ මයික්‍රෝන විස්සට අඩු පොලිතින් තහනම් කළා. එම පියවර වැදගත් වන්නේ මයික්‍රෝන විස්සට අඩු පොලිතින් තමයි කාණුවල හිරවෙලා ජල ගැලීම් ආදියට හේතුවීම නිසා.එහෙත් එය හරියාකාරව ක්‍රියාත්මක කෙරුණේ නැහැ. ඉන් අනතුරුව ප්ලාස්ටික් බෑග්වලට පරිසර සංරක්ෂිත බද්දක් පැනෙව්වා. එහෙත් එම බද්ද යළිත් 2010 වසරේ අහෝසි කරනු ලැබුණා. ඒ අතර කැළිකසල ප්‍රශ්නයත් එක්ක අන්තිමට සිද්ධ වුනේ පොලිතින් ප්‍රශ්නය මහා දැවැන්ත ප්‍රශ්නයක් බවට පත්වීමයි" පරිසර හේමන්ත විතානගේ පෙන්වා දෙයි.

තාක්ෂණික කමිටුව

එම තත්වය යටතේ අමාත්‍ය මණ්ඩලය විසින් 2017 වසරේ පොලිතින් ඇතුළු අපද්‍රව්‍ය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග තීන්දු කිරීමට 'තාක්ෂණික කමිටුවක්' පත් කරන ලද අතර එම කමිටුවේ නිර්දේශය අනුව ලබන සැප්තැම්බර් මාසයේ පටන් පොලිතින් සහ රිජිෆෝම් (rigifoam ) පාවිච්චිය නතර කිරීමට පියවර ගෙන ඇත.

" ලංකාවේ කොහේ ඇවිද්දත් ගස්වල පවා 'බකට්' වගේ පොලිතින් උර එල්ලෙමින් තියෙනවා දකින්න පුළුවන්. අද ශ්‍රී ලංකාව මුහුණ දී ඇති කැළිකසල ප්‍රශ්නයෙන් 30% ක් පමණ පොලිතින් සහ ප්ලාස්ටික්. ඒවාට විසඳුමක් දුන්නොත් පමණයි - මේ ප්‍රශ්නය නිරාකරණය කර ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඩෙංගු ප්‍රශ්නයත් ඊට එකතු වෙලා" පරිසරවේදී හේමන්ත විතානගේ පවසයි.

ආණ්ඩුවේ තහනමත් සමඟ පොලිතින් නිෂ්පාදනය කරනු ලබන සුළු කර්මාන්තකරුවන් මුහුණ දෙන ආර්ථික ගැටළු පිළබඳව බීබීසිය විමසීමක් කළ විට ඊට පිළිතුරු දුන් පරිසරවේදී හේමන්ත විතානගේ "අමාත්‍ය මණ්ඩලය මගින් පත් කෙරුණ තාක්ෂණික කමිටුවේ දී එම කණ්ඩායම්වලින් විරෝධයක් එල්ල නොවූ" බව සඳහන් කළේය.

Image caption නැවත පාවිච්චිය සඳහා පොලිතින් වේලන ඉන්දියානු කාන්තාවක්

වතුර බෝතල් පුළුවන්

දියුණු රටවල ක්‍රියාත්මක කෙරෙන කසළ එක්රැස් කිරීමක් හෝ මනා ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකාවේ නොවීමේ අඩුපාඩුව ඔහු පිළිගනියි.

"ඒත් සමහර දේවල් ප්‍රතිචක්‍රීයකරණය කරන්න බැහැ. රිජිෆෝම්(rigifoam ) එක නිදර්ශනයක්. ඒ නිසා ඒවා තහනම් කළ යුතුම වෙනවා" පරිසරවේදී හේමන්ත විතානගේ කියා සිටියි.

එහෙත් ප්ලාස්ටික් බෝතල්වල වතුර ඇසිරීම මෙම පියවරේදී තහනම් කරනු ලැබ නැත.