ඕස්ට්‍රේලියානු විදේශ ඇමතිවරිය ශ්‍රී ලංකාවේ සංචාරයක

Image copyright Getty Images

ඕස්ට්‍රේලියානු විදේශ ඇමතිනී ජූලී බිෂොප් (Julie Bishop) නිල සංචාරයක් සඳහා අද බදාදා (ජූලි 19) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

විදේශ ඇමතිවරිය ශ්‍රී ලංකාවට ළඟා වන්නේ ඉන්දියාවේ සිදු කරන ලද සංචාරයකින් අනතුරුවයි.

ජූලි 18-20 අතර සිදු කෙරෙන ඉන්දියානු සහ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ කලාපීය රටවලට වැදගත් ආර්ථික සහ ආරක්ෂක කරුණු සහ ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කිරීම වන බව ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි.

සිය විදේශ ඇමතිවරියගේ ශ්‍රී ලංකා සංචාරයේ දී ඇය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, විදේශ ඇමති රවී කරුණානායක සහ වෙනත් ඇමතිවරුන් මුණ ගැසෙන බව පවසන ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍යංශ නිවේදනය, ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාවය පිළිබඳව මෙන්ම විද්‍යාව, සම්පත් සහ බලශක්ති වැනි අංශවල නව ආර්ථික අවස්ථාලාභයන් පිළිබඳව ඔවුන් සමඟ සාකච්ඡා පවත්වන බව කියා සිටියි.

ඩෙංගු

එසේම මේදිනවල ශ්‍රී ලංකාව තුළ පැතිර යමින් පවතින ඩෙංගු උවදුර සමඟ පොර බැදීමේ දී ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන සහයෝගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විදේශ ඇමතිනී ජූලී බිෂොප් විසින් ප්‍රකාශයට පත් කරන බව පවසන ඉහත කී නිවේදනය, ශ්‍රී ලංකාවේ දිගුකාලීන සෞභාග්‍යය සහ සුරක්ෂිතභාවය අතින් ඉතාම තීරණාත්මක කරුණක් වන සංහිඳියා ක්‍රියාදාමය පෙරට ගෙනයාම අතින් ලබා ඇති ප්‍රගතිය පිළිබඳවත් ශ්‍රී ලංකාවේ නායකයන් සමඟ සාකච්ඡා කරන බව සඳහන් කරයි.

ඕස්ට්‍රේලියානු ලිබරල් පක්ෂයේ සාමාජිකාවක් වන ජූලී බිෂොප් 2013 වසරේ පටන් එරට විදේශ ඇමති පදවියේ කටයුතු කරයි.

1998 වසරේ පළමු වතාවට පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජූලී බිෂොප් ගතවූ කාලය තුළ කාන්තා කටයුතු සහ විද්‍යාව සහ පුහුණුව වැනි ඇමති පදවි කීපයක්ම දරා ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර