හිටපු නාවික හමුදා ප්‍රකාශක යළි රිමාන්ඩ්

ඩී.කේ.පී දසනායක

තරුණයන් පිරිසක් අතුරුදහන් කර වීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක ලබන මස 02 වෙනිදා දක්වා යළි රිමාන්ඩ් භාරයට පත් කිරීමට කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් නියෝග කර තිබේ.

පසුගිය පාලන සමයේ දී තරුණයන් එකොළොස් දෙනෙකු පැහැර ගෙන ගොස් නීති විරෝධී ලෙස රඳවා තබා ගෙන පසුව අතුරුදහන් කර වීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන පරීක්ෂණවලට අදාළව පසුගිය 12 වෙනිදා ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

අදාළ පරීක්ෂණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පසුගිය 17 වෙනිදා කියා සිටියේ පැහැර ගැනීමට ලක් වූ තරුණයන් රඳවා ගෙන සිටි කාලය අතරතුර ඔවුන්ගේ ඥාතීන්ට දුරකතන ඇමතුම් ගෙන ඇති බවය.

පැහැර ගැනීමේ ක්‍රියාව අනුමත නොකරන ලද නාවික හමුදාවේ සෙසු නිලධාරීන් විසින් ඔවුන්ට දුරකතන සපයනු ලැබ ඇතැයි හෙළි වී ඇති බවත් ඔහු එහිදී පැවසීය.

පුද්ගලයින්ගේ සාක්ෂි, නාවික හමුදා නිලධාරීන්ගේ සාක්ෂි සහ විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ ඔවුන් රඳවා තබා ගත් ස්ථාන පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර ගනු ලැබ ඇති බවත් පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඔවුන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කරවා ඇත්තේ 'බලහත්කාරයෙන් මුදල් ලබා ගැනීම සඳහා' බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද විමර්ශනවලින් තහවුරු වී ඇති බවත් ඔහු පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්