ඩෙංගු සටනට ඕස්ට්‍රේලියාවේ සහාය

විදේශ ඇමතිනී ජූලී බිෂොප් ජනපති මෛත්‍රීපාල සිරිසේන සමග Image copyright News.lk
Image caption විදේශ ඇමතිනී ජූලී බිෂොප් ජනපති මෛත්‍රීපාල සිරිසේන සමග

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී තිබෙන ඩෙංගු වසංගත තත්වය මර්ධනය කිරීම පිණිස ඕස්ටේ‍්‍රලියානු රජයේ සහාය හිමිව තිබේ.

ශ්‍රී ලංකාවේ දෙදින සංචාරයක නිරතව සිටින ඕස්ටේ‍්‍රලියාවේ විදේශ ඇමතිනී ජූලී බිෂොප් බ්‍රහස්පතින්දා (ජුලි 20) පෙරවරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හමු වී සාකච්ඡා පැවැත්විය.

ඩෙංගු රෝගය මර්ධනය කිරීම සඳහා ඔස්ටේ‍්‍රලියාවේ සහාය ලබා දෙන බව ඇය බදාදා (ජුලි 19) විදේශ සහ සෞඛ්‍ය අමාත්‍යවරුන් හමු වූ අවස්ථාවේදී සඳහන් කර තිබේ.

ඩෙංගු රෝග මර්දන වැඩසටහන් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මාර්ගයෙන් රුපියල් මිලියන 58 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන බව එම සාකච්ඡාවෙන් අනතුරුව ජූලී බිෂොප් ඇමතිනිය මාධ්‍ය වෙත සඳහන් කළාය.

"අප ලබාදෙන ආධාර යොදාගනිමින්, රෝහල්වල ප්‍රතිකාර කිරීමේ ප්‍රමුඛතාව සහ රෝගී කලමනාකරණය පුළුල් කිරීම, පිරිසිදු කිරීම්, මහජන දැනුවත් කිරීම්, ඩෙංගු වැළැක්වීමේ සහ පාලනය කිරීමේ වැඩසටහන් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කරනු ඇති," යනුවෙන් එම ආධාර මුදල් යෙදවෙන ආකාරය ඇය විස්තර කළාය.

'වොල්බැචියා බැක්ටීරියාව'

ඩෙංගු ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දිගුකාලීන වැඩසටහනක් ලෙස ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය සහ ශී‍්‍ර ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර සහයෝගයෙන් ඩෙංගු මදුරුවා නිෂ්කී‍්‍රය කරන "වොල්බැචියා බැක්ටීරියාව" ශි‍්‍ර ලංකාවට හඳුන්වාදීමට පියවර ගෙන තිබෙන අතර, ඒ සඳහා රුපියල් මිලියන 118 ක මුදලක් වැය කිරීමට ද ඕස්ට්‍රේලියා රජය බලාපොරොත්තු වෙයි.

Image caption විදේශ ඇමතිනී ජූලී බිෂොප් විපක්ෂ නායක ආර් සම්පන්ධන් ඇතුළු දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන්ද මුණගැසුනාය

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන පසුගියදා ඕස්ට්‍රේලියාවේ සංචාරය කළ අවස්ථාවේ ශී‍්‍ර ලංකාවේ වකුගඩු රෝග නිවාරණය සහ ඩෙංගු මර්දනය සඳහා සහය දක්වන ලෙස එරට අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බූල් ගෙන් කළ ඉල්ලීම ප්‍රකාර එම ආධාර ලබා දෙන්නේ යයි විදේශ ඇමතිවරිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවේ ප්‍රකාශ කළ බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

විදේශ ඇමතිනී ජූලී බිෂොප් විපක්ෂ නායක ආර් සම්පන්ධන් ඇතුළු දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන්ද මුණගැසුනාය.

මේ අතර ඩෙංගු මර්දනය පිළිබඳ මෙහෙයුම් කමිටුවේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දුගේ ප‍්‍රධානත්වයෙන් බදාදා (ජුලි 19) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ඩෙංගු රෝගය වැළඳී ඇති මුළු රෝගීන්ගේ සංඛ්‍යාවෙන් සියයට තිහක් පාසල් දරුවන් බැවින් පාසල් පරිශ‍්‍රයන් ඩෙංගුවලින් තොර කලාපයක් බවට පත්කිරීමේ සම්පූර්ණ වගකීම විදුහල්පතිරුන් වෙත පැවරිමට එහිදී යෝජනා වී තිබේ.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
ඩෙංගු: වෛද්‍ය උපදෙස්

ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති දිස්ත‍්‍රික්ක කෙරෙහි වැඩි ප‍්‍රමුඛත්වයක් ලබාදෙමින් කටයුතු කිරීමේ වැදගත්කම මෙන්ම ඉදිරි මාස කිහිපය තුළ වර්ෂාව ඇතිවීමේ ප‍්‍රවණතා ද සැලකිල්ලට ගනිමින් ඩෙංගු මර්දනය සඳහා වහාම පියවර නොගන්නේ නම් තවදුරටත් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ ගැටලුවකට මුහුණ දීමට සිදුවන බව ද එම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් මෙම වසර ඇතුළත පමණක් 230 කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති අතර මේ දක්වා ඩෙංගු රෝගීන් 71,000ක් වාර්තා වී ඇති බවද සෞඛ්‍ය බලධාරීහු පවසති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර