සාගලගෙන් පොලිස්පතිට නියෝගයක්

විද්වත් වෘත්තිකයන්ගේ මූලස්ථානයේ පැවති 'සයිටම්' විරෝධී වැඩ සටහනකට සම්බන්ධ වී පිටව යමින් සිටි සරසවි ශිෂ්‍ය නායකයකු අත්අඩංගුවට ගැනීමට යාමේ සිද්ධිය පිළිබදව වහාම පරීක්‍ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියෝග කළබව සාගල රත්නායක අමාත්‍යවරයා පවසයි.

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායකගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වන්නේ එම ශිෂ්‍යයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලීසිය විසින් අනුගමනය කරන ලද ක්‍රමවේදයන් පිළිබදව පරීක්ෂණයක් සිදුකර වහාම තමා වෙත වාර්තාවක් ලබා දෙන ලෙස නියෝග කර ඇති බවය.

"සැකකරුවෙක්"

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වූ පසු මෙම සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරුන්ගේ නිවේදන අවස්ථාවේ විශේෂ ප්‍රකාශයක් කිරීමටද බලාපපොරොත්තු වන බව ඇමතිවරයා සඳහන් කර තිබේ.

සාගල රත්නායක අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ මෙම ශිෂ්‍යයා "2017.06.21 වන දින සෞඛ්‍ය අමාත්‍යංශයේ ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වී පොදු දේපල වලට හානි කිරීමට අදාලව, පොදු දේපල පනත යටතේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක බී/16250/17 දරණ නඩුවේ අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සැකකරුවෙකු මෙන්ම කොටුව ම.උ.නඩු අංක B 3049/16 දරණ නඩුවේ වරෙන්තු නිකුත් වී සිටින සැකකරුවෙකු" වන බවය.

"සුදු වෑන් කල්ලියක්"

මෙම ශිෂ්‍යයා පැහැර ගැනීමට "සුදු වෑන් කල්ලියක්" විසින් තැත් කරන ලද බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කර තිබුණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් බීබීසියට ප්‍රකාශයක් කළ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක , විද්වත් වෘත්තිකයන්ගේ මූලස්ථානයේ පැවති සාකච්ඡා වලට සහභාගී වී ආපසු යමින් සිටි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැර ගැනීම සඳහා සිවිල් ඇඳුමින් පැමිණි කණ්ඩායමක් උත්සාහ කළ බව කියා සිටියේය.

රයන් ජයලත් වෛද්‍ය ශිෂ්‍යයා බේරා ගන්නා ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත ඇතුළු කණ්ඩායමක මැදිහත් වීමෙන් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එම අවස්ථාවේ පොලිස් කණ්ඩායමක් විද්වත් වෘත්තිකයන්ගේ මූලස්ථානය ඉදිරිපිට රඳවා සිටි බවත් බිමල් රත්නායක මන්ත්‍රීවරයා පවසයි.

වෛද්‍ය ශිෂ්‍ය නායකයා අත්අඩංගුවට ගැනීමට තැත් කරන ලද්දේ පොලිසිය විසින්දැයි බීබීසිය ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක "ඔවුන් සිවිල් ඇඳුමින් සැරසී සිටි අතර අත්අඩංගුවට ගැනීමකට අදාළ අධිකරණ නියෝගයක් හෝ වෙනත් ලියවිල්ලක් ඔවුන් අත නොතිබුණ බවත්" සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර