චෙන්කලාඩි මහපාරේ මහජන විරෝධතා ව්‍යාපාරයක්

Image caption තරුණයා මරණයට පත්වීමෙන් අනතුරුව ගැටුම්කාරී තත්වයක්

විරෝධතාවාදීන් පිරිසක් චෙන්කලාඩි- බදුල්ල මාර්ගයේ චෙන්කලාඩි රෝහල ඉදිරිපිට මහපාරේ වාඩි වෙමින් විරෝධතා ව්‍යාපාරයක් ගෙන යමින් සිටි බව වාර්තා වෙයි.

එම විරෝධතා ව්‍යාපාරය දියත් කෙරුණේ මඩකලපුව, චෙන්කලාඩි 'කායන්මඩු' ප්‍රදේශයේ 'මුන්දන්වෙලි' ඔයේ (මුන්දන්වෙලි ආරු) අනවසර වැලි ගොඩ දැමීමක් නතර කිරීමට විශේෂ කාර්ය බලකායේ (STF) භටයන් කණ්ඩායමක් මැදිහත් වූ අවස්ථාවේ තරුණයකු ඔයට පැනීමෙන් මරණයට පත්වීමෙන් අනතුරුවයි.

ප්‍රදේශයේ වැලිගොඩ දැමීම් සඳහා බලපත් නිකුත් කිරීමක් කෙරෙන නමුත් ඇතැමුන් එවැනි බලපත්වලින් තොරව වැලි ගොඩ දමන හෙයින් ඔවුන් නතර කිරීම සඳහා විශේෂ කාර්ය බලකායේ භටයන් එම ස්ථානයට ගොස් ඇත.

Image caption ගැටුම්කාරී තත්වය සමනය කිරීමේ ප්‍රයත්නයක්

එවැනි අනවසර කණ්ඩායමක් ට්‍රැක්ටර් වලට වැලි පටවමින් සිටියදී ඔවුන් පළවා හැරීමට STF භටයන් අහසට වෙඩි තබන ලද අවස්ථාවේ බියට පත් කීප දෙනෙක් පළාගොස් ඇති අතර තවත් කීප දෙනෙක් ගඟට පැන ඇත.

එසේ ගඟට පනින ලද අයගෙන් සදාහරන් මදුෂාන් නමැති දාහත් හැවිරිදි තරුණයකු දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇති බව ප්‍රාදේශීය මාධ්‍යවේදීහු පවසති.

එම තරුණයා බේරා ගැනීම සඳහා ඔහුගේ සහෝදරයකුත් ඔයට පැන ඇති අතර ප්‍රදේශවාසීන් විසින් බේරා ගන්නා ලද එම තැනැත්තා රෝහල්ගත කර ඇති බවක් ද වාර්තා වෙයි.

එම සිද්ධිය වූ අවස්ථාවේ ප්‍රදේශවාසීන් විශේෂ කාර්ය බලකායේ භටයන්ට එම ස්ථානයෙන් පිටවී යාමට බාධා කරන ලද අතර ඒ සමඟ ගැටුම්කාරී තත්වයක් උද්ගත විය.

Image caption විශේෂ කාර්ය බලකායේ භටයන් චෙන්කලාඩි මහා මාර්ගයේ

මේ අතර එක්තරා පිරිසක් විශේෂ කාර්ය බලකායේ භටයන් සහ පොලිසිය ඉලක්ක කර ගනිමින් ගල්මුල් ආදියෙන් පහර දී ඇත.

එම අවස්ථාවේ විශේෂ කාර්ය බලකායේ භටයන් අහසට වෙඩිතබා ඇති අතර පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ අතිරේක භටයන් විසින් ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා ලද බව ප්‍රාදේශීය මාධ්‍යවේදීහු පවසති.

'චෙන්කලාඩි' සිද්ධිය සහ මහජන විරෝධතා ව්‍යාපාරය පිළිබඳව විමසීමට පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර දුරකථනය මගින් සම්බන්ධ කර ගැනීමට බීබීසිය ගත් උත්සාහය අසාර්ථක විය.