ඇමති රවී - අර්ජුන් ගැන කොමිසම හමුවේ දිගහැරේ

අමාත්‍ය රවී කරුණානායක

මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ බදාදා (ජුලි 26) පෙනී සිටින ලෙස එම කොමිසම විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායකට සිතාසි නිකුත් කර තිබේ.

අඟහරුවාදා (ජූලි 25) කොමිසම හමුවේ සාක්ෂි දීම සඳහා පැමිණෙන ලෙස හිටපු මුදල් අමාත්‍ය හා වත්මන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකට දන්වා තිබුණද ඔහු සිය නීතිඥයින් මාර්ගයෙන් කොමිසමට දන්වා තිබුනේ වෙනත් කාර්ය හේතුවෙන් එදින කොමිසම හමුවේ පෙනී සිටිය නොහැකි බවය.

මේ අතර සඳුදා කොමිසම හමුවේ (ජූලි 24) කෙරුණු සාක්ෂි විභාගයේදී මුදල් අමාත්‍යවරයා සහ අර්ජුන් ඇලෝසියස් අතර සබඳතාවක් ඉස්මතු කරලන ආකාරයේ සාක්ෂියක් ඉදිරිපත් විණි.

කොමිසම හමුවේ පෙනී සිටි එම් විනෝදනී විජේසූරිය නම් සාක්ෂිකාරිය කියා සිටියේ, කොළඹ 3, කොල්ලුපිටියේ පිහිටි මොනාර්ක් රෙසිඩන්සීස් නම්වූ නිවාස සංකීර්ණයේ ඇති තමන්ට හිමි නිවාසය අමාත්‍ය රවී කරුණානායක ගේ පවුල වෙත තමා බදු දුන් අතර එම බදු කුලිය ගෙවන ලද්දේ අර්ජුන් ඇලෝසියස්ට අයත් සමාගමක් විසින් බවය.

සබැඳි යොමු:

2016 ජනවාරි 27 වෙනිදා දහවල් සිය නිවස පරීක්ෂා කිරීමට මුළින් පැමිණියේ එවක මුදල් අමාත්‍යවරයාගේ බිරිඳ වූ අතර එම අවස්ථාවේ එහි පැමිණි අර්ජුන් ඇලෝසියස් ද නිවස පිළිබඳ වැඩිදුර විමසා තමා එය කුලියට ගන්නා බවත් එහෙත් එහි පදිංචි වනුයේ අමාත්‍ය රවී කරුණානායකගේ පවුල බවත් සඳහන් කළ බව සාක්ෂිකාරිය කොමිසම හමුවේ පැවසුවාය.

ඒ වනවිට, පාර්ලිමේන්තුවට ආසන්නයේ පිහිටි අමාත්‍යවරයාගේ නිවස අලුත්වැඩියා කෙරෙන බැවින් කුලියට ගන්නා නිවසේ මාස හයක කාලයකට පදිංචිවන බව තමන්ට දන්වනු ලැබූ අතර ඒ පිළිබඳ ගනුදෙනු සිදුවුයේ අර්ජුන් ඇලෝසියස් සමග බව ද ඇය කියා සිටියාය.

ඒ අනුව නිවස පිළිබඳ සියලු ගනුදෙනු සිදුවුයේ අර්ජුන් ඇලෝසියස් හා ඔහුගේ සමාගමක් හරහා බවත් ඇය සඳහන් කළාය. ඒ සඳහා එකඟ වූ මුදලට යළි ගෙවන තැන්පතු මුදලක් ද ඇතුළත් විණි.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
‘බැඳුම්කර කොමිසම’ : මහා බැංකු අධිපති සාක්ෂි දෙයි

අදාළ අලුත්වැඩියා කටයුතු අවසන්ව නොමැති බැවින් ලබාගත් තැන්පත් මුදලට සරිලන සේ වැඩි පුර මාස දෙකක කාලයක් ද නිවසේ රැඳීමට ඉඩ හරින ලෙස අර්ජුන් ඇලෝසියස් දන්වා සිටි බව ඇය කොමිසම හමුවේ කීවාය.

කෙසේ වෙතත්, මේ අතරේදී අදාළ නිවාස මිලදී ගැනීමට කැමති බව අමාත්‍යවරයාගේ පවුල කළ දැනුම් දීමට අනුව කෙරුණු සාකච්ඡාවලින් අනතුරුව රුපියල් මිලියන 165 ක එකඟ වූ මිලකට නිවස අලෙවි කර තිබේ.

ඒ අනුව, නිවස මිලදී ගනු ලැබුවේ මුදල් අමාත්‍යවරයාගේ බිරිඳ හා දියණිය අධ්‍යක්ෂධුර දරන ග්ලෝබල් ට්‍රාන්ස්පෝර්ටේෂන් ඇන්ඩ් ලොජිස්ටික්ස් නම් සමාගම විසින් බව ද සදුදා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සාක්ෂිකාරිය කියා සිටියාය.

සබැඳි යොමු:

මේ අතර මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සොයා බලන ජනාධිපති කොමිසම, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණනුවන් වන අර්ජුන් ඇලෝසියස් වෙත කළ දෙනුම් දීමට අනුව ඔහු සිය ජංගම දුරකථන අතුරු සන්නිවේදන උපකරණ ඊයේ (ජූලි 24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙනු ලැබිණි.

කොමිසම ඔහුට දන්වා තිබුනේ 2015 - 2016 වසරවලදී භාවිත කරන ලද දුරකථන, ලැප්ටොප් පරිගණක හා අනෙකුත් සන්නිවේදන උපකරණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙසය.

මේ අතර සිය කොමිසමේ කාලය දීර්ඝ කරන ලෙස කොමිසම කළ ඉල්ලීමක් සලකා බලමින් එහි කාලය තවත් මාස තුනකින් දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ති‍බේ.

ඒ අනුව බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් පත් කළ කොමිසමේ වාර්තාව බාරදිය යුතු දිනය 2017 ජූලි 27 සිට ඔක්තෝබර් 27 තෙක් දීර්ඝ වේ.

2015 පෙබරවාරි මස පළමුවෙනිදා සිට 2016 මාර්තු 31 වැනිදා දක්වා කාල පරිච්ඡේදයේ සිදුවූ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් පිළිබඳව පරීක්ෂණ අවසන් කොට වාර්තාවක් සපයන ලෙස ජනාධිපතිවරයා මෙම කොමිසමට නියෝග කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කංකානි තන්ත‍්‍රි චිත‍්‍රසිරි, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රසන්න සුජීව ජයවර්ධන සහ විශ‍්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ මෙම කොමිසමේ සාමාජිකයන් ලෙස කටයුතු කරති.

සබැඳි විෂයයන්