"සුදු වෑන් පැහැර ගැනීම: ඇමති කණගාටුව පළ කළා"

අමාත්‍ය සාගල රත්නායක

සුදු වෑන් රථයකින් ශිෂ්‍ය නායකයෙකු පැහැර ගැනීමට උත්සාහ කිරීම පිළිබඳව නීතිය හා සාමය භාර අමාත්‍යවරයා කණගාටුව පළ කිරීමෙන් අනතුරුව අඟහරුවාදා (ජුලි 25) දියත් කළ සංකේත වැඩ වර්ජනය නිමාවට පත් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ශිෂ්‍ය ව්‍යාපාර සහ වෘත්තීය සමිති මර්දනය සහ දිගින් දිගටම ශිෂ්‍යයන් අත්අඩංගුවේ රඳවා ගැනීමට ද එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන් දියත් කළ එම දීප ව්‍යාප්ත සංකේත වර්ජනය හේතුවෙන් රට පුරා රජයේ රෝහල්වල රෝගීන්ට ප්‍රතිකාර කිරීම අඩාල වී තිබුණි.

වර්ජනය අතරවාරයේ සංගමයේ නිලධාරීන් අමාත්‍ය සාගල රත්නායක හමු වූ අවස්ථාවේ ශිෂ්‍ය නායකයා පැහැර ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් උපරිම පියවර ගන්නා බවට සහ ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරන බවට ප්‍රතිඥා දුන් බව සංගමය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

සබැඳි යොමු:

විද්වත් වෘත්තිකයන්ගේ මූලස්ථානයේ පැවති 'සයිටම්' විරෝධී වැඩ සටහනකට සම්බන්ධ වී පිටව යමින් සිටි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැර ගැනීම සඳහා සිවිල් ඇඳුමින් පැමිණි කණ්ඩායමක් උත්සාහ කළ බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක බීබීසී සිංහල සේවයට පැවසීය.

රයන් ජයලත් වෛද්‍ය ශිෂ්‍යයා බේරා ගන්නා ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත ඇතුළු කණ්ඩායමක මැදිහත් වීමෙන් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඉන් අනතුරුව නිවේදනයක් නිකුත් කළ අමාත්‍ය සාගල රත්නායක, එම ශිෂ්‍යයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලීසිය විසින් අනුගමනය කරන ලද ක්‍රමවේදයන් පිළිබදව පරීක්ෂණයක් සිදුකර වහාම තමා වෙත වාර්තාවක් ලබා දෙන ලෙස නියෝග කර ඇති බව සඳහන් කර තිබුණි.

'සුදු වෑන් පැහැර ගැනීමේ උත්සාහය' පිළිබඳව මෙන්ම දැනට අත්අඩංගුවේ පසුවන ශිෂ්‍යයන් සම්බන්ධයෙන් කඩිනමින් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවට සහ සාමකාමී උද්ඝෝෂණ සහ විරෝධතාවලට හිරිහැර ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය පියර ගන්නා බවට අමාත්‍ය සාගල රත්නායක අඟහරුවාදා (ජුලි 25) සාකච්ඡාවේදී ප්‍රතිඥා දුන් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය නිවේදනයේ සඳහන් කරයි.

එම ප්‍රතිඥා පිළිබඳව තමන් "දැඩි අවධානයෙන් පසුවන" බව සඳහන් කරන වෛද්‍ය සංගමය, "සයිටම් අර්බුදය විසඳා රෝගීන්ට සුරක්ෂිත වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගැනීමේ අයිතිය සුරැකීම" පිණිස ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව අවධාරණය කරයි.

පසුගියදා බීබීසී සිංහල සේවය සමග විශේෂ සජීවී සාකච්ඡාවකට සහභාගි වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, සයිටම් අර්බුදය සහ පෞද්ගලික අධ්‍යාපනය පිළිබඳව සිය පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කළේය.