"හැමෝම ගහන්නේ ෆුල් ටෑන්ක්"

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
තෙල් හිඟය ගැන ජනතා අදහස්

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව කැඳවා ඇති වර්ජනය පිළිබඳව බලධාරීන් සමඟ පැවති සාකච්ඡාව අසාර්ථක වූ බව වෘත්තීය සමිති ප්‍රකාශකයෙක් පවසයි.

එම නිසා වැඩවර්ජනය දිගටම ක්‍රියාත්මක වන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධුල සමන් කුමාර කියා සිටියේය.

ඔහු තවදුරටත් කියා සිටියේ සාකච්ඡාවක් සඳහා ජනාධිපතිවරයාගෙන් ද ඇරයුමක් ලැබී ඇතත්, වර්ජනය අතහැර පැමිණෙන ලෙස පවසා ඇති හෙයින් එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරන බවය.

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව කැඳවා ඇති වර්ජනය හේතුවෙන් මේ වන විටත් දිවයින පුරා තෙල් බෙදාහැරීමේ කටයුතු ඇණහිට තිබෙන බව වාර්තාවේ.

දිවයින පුරා ඉන්ධන පිරවුම් හල් රැසක ඉන්ධන මේවනවිට අවසන්වී තිබෙන බව වාර්තාකරුවෝ පවසති.

ඊයේ රාත්‍රියේ පටන් තිබුණු දැඩි ඉල්ලුම සපුරාලීම හේතුවෙන් ඉන්ධන තොග අවසන් වී කොළඹ නගරයේ ඉන්ධන පිරවුම් හල් රැසක් අද දහවල් කාලයෙන් පසු වසා දමා තිබුණි.

"ෆුල් ටෑන්ක්"

"පාන්දර වෙනකම් තෙල් ගැහුවා, ඇතැම් අය පැය දෙක තුන වාහන පොලිම්වල ඉඳලා තෙල් ගහගත්තා, හැමෝම ෆුල් ටැංක් ගහගත්ත නිසා දැන් තෙල් තොග ඉවරයි." වසා දමා තිබූ කොළඹ ඉන්ධන පිරවුම් හලක කළමනාකරුවකු බීබීසියට පැවසීය.

අද උදෑසන තෙල් පෝලිම්වල සිටි ජනතාව වර්ජනයේ නියැළෙන සමිතිවලට හා රජයට දැක්වුයේ දැඩි විරෝධයකි.

"පැය දෙකක් පෝලිමේ, මේවා පුද්ගලීකරණය කරන්න ඕනේ. එතොකොටයි මේ ස්ට්‍රයික් නවතින්නේ. හැමදාම ස්ට්‍රයික්" යැයි එක් වාහන හිමියෙක් සඳහන් කළේය.

"මේ මොන කරුමයක්ද"

"ආණ්ඩුව ගත්තා නම් කරන්න ඕනේ, බැරි නම් දීලා යන්න ඕනේ. මේ මොන කරුමයක්ද හැමදාම මොනවා හරි ස්ට්‍රයික් එකක්" යනුවෙන් තවත් වාහන හිමියෙක් සඳහන් කළේ දිගින් දිගටම පැවැත්වෙන විරෝධතා රැල්ල ගැන සිය විරෝධය පළකරමිනි.

"මේ හැමදෙයින්ම තැලෙන්නේ පොඩි මිනිස්සු. ලොකු මිනිස්සු රියදුරන් එවලා ෆුල් ටෑන්ක් කරගන්නවා. අපි තමයි තැලෙන්නේ." දෙපාර්ශයටම විරෝධය පළකරමින් එක් රියදුරෙක් පැවසීය.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණ සහ හම්බන්තොට වරාය තෙල් ටැංකි සංකීර්ණ ඛනිජ තෙල් සංස්ථාවට පවරා ගැනීම මෙන්ම සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීම යන ඉල්ලීම් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය කැඳවා තිබුණි.

ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග හා වෘත්තීය සමිති නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද සවස පැවැත්වීමට නියමිත ය.