"අලි මුහුදට ආවේ සී බාත් ගන්නද? ඔස්ට්‍රේලියා යන්නද ? "

Image caption අලි දෙදෙනා බේරා ගැනීමේ මෙහෙයුම

"බලකො සී බාත් දාලා ගොඩ යන අපූරුව"

මෙය බීබීසී සිංහල ෆේස්බුක් පිටුවට පිවිසි අයකු ඔහුගේ සිත්ගත් පුවතකට අදාළව තබා ඇති අවස්ථාවෝචිත රසවත් සටහනකි.

ඔහු වස්තු විෂය කර ගන්නේ මුහුදට ගසාගෙන ගොස් දියඹේ අසීරු අඩියකට පත්ව සිටි වන අලි දෙදෙනකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරා ගනු ලබන ආකාරය ඇතුළත් බීබීසී සිංහල ෆේස්බුක් පිටුවේ පළ කරන ලද වීඩියෝ පටයයි.

මුහුදට ගසාගෙන ගිය එම අලි දෙදෙනා ත්‍රිකුණාමලය අසල මුහුදේ අනතුරට ලක්ව සිටියදී පසුගිය ඉරිදා (ජූලි 23) බේරා ගනු ලැබුණි.

මුර සංචාරයේ නිරත වෙමින් සිටි නාවික හමුදා භටයන් කණ්ඩායමක ඇස ගැටුණ අලි දෙදෙනා බේරා ගැනීමට වන ජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ද සහයෝගය ඇතිව දියත් කෙරුණ ඒකාබද්ධ මෙහෙයුම සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ලෝකය නැරඹූ අතර ෆේස්බුක් පරිශීලනය කරන්නෝ විවිධ අදහස් එක් කරමින් එය රසාත්මක සංවාදයක් බවට පත් කරනු ලැබ ඇත.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
මුහුදේ ගිලුණු තවත් අලි දෙදෙනෙක්

අලි දෙදෙනා මුහුණ දුන් බියකරු මොහොත කැමරා ඇසින් දකිමින් ඒ සමඟ හදවත්හි ඇති වූ කම්පනය මැද එම වීඩියෝ පටය තේමාකර ගනිමින් ෆේස්බුක් පිටුවේ තබා ඇති අපූරු ප්‍රකාශන ගොන්න තුලින් එම කම්පාව අමතක කිරීමක් ද සිදු කෙරෙයි.

බීබීසී ෆේස්බුක් රසවතකු විසින් තබා ඇති මේ සටහන කියවන්න.

"අලින්ට පේන්න වැල්ලේ බෝඩ් එකක් ගහන්න 'මුහුද අලි බිලි ගනී'කියලා."

නාවික හමුදාවේ භටයන් සහ වන ජීවී නිලධාරීන් අලි දෙදෙනා බේරා ගැනීමට ගෙනගිය අරගලය අගය කරමින් ඇතැමුන් සටහන් තබන අතරවාරයේ තවත් කෙනෙක් මෙසේ ලියා ඇත.

"මම හිතන්නේ කලින් අලියව හොයාගෙන ආපු අලි දෙන්නෙක් වෙන්න ඕන. පව්! කොහොමහරි බේරා ගත්ත එක ලොකු දෙයක්!"

ඔහු "කලින් අලියා ලෙස හඳුන්වන්නේ සති කීපයකට පෙර නාවික හමුදාව විසින් මුහුදින් බේරා ගන්නා ලද අලියායි.

අනතුරුව එය ෆේස්බුක් සංවාදයක් බවට පත්වෙයි.

Image caption ෆේස්බුක් සංවාදය

"බොහෝවිට එහෙම වෙන්න පුළුවන්"

"ඔව්! මිනිස්සු වගේ නොවෙයිනේ"

"ඒක නම් ඇත්ත!"

මේ අතර මෙම අලි දෙන්නාගේ කතාව දෙස වඩාත් ගැඹුරින් අවධානය යොමු කරන්නෝ ද සිටිති.

මෙය එබඳු සටහනකි.

"අලියා සාමාන්‍යයෙන් සිටින තැනකින් වෙන තැනකට මිනිසුන්ට පෙර යන්නේ ස්වාභාවික අනතුරක් ඉව වැටුනාමයි. මේ අලි දෙන්නාගේ කතාවටත් එවැනි පසුබිමක් තියෙනවාද කියල මම දන්නේ නැහැ. කොහොම වුනත්, මෙය අවධානය යොමුකළ යුතු කාරණයක්"

ඔස්ට්‍රේලියාව කරා මුහුදු මාර්ගයෙන් අනවසරයෙන් ගමන් ගැනීම් පිළිබඳව පසුගිය කාලයේ දිගින් දිගටම වාර්තා විය.

අපේ ෆේස්බුක් රසවතුන් එම අනවසර මිනිස් මුහුදු ගමන් සහ මේ අලි දෙන්නාගෙ කතාව මුසු කරන රසවත් ආකාරය බලන්න.

Image caption අලි මුහුදට ආවේ ඕස්ට්‍රේලියා යන්නද?

"දැන් දැන් අලිත් යන්න හදන්නේ ඔස්ට්‍රේලියාවටද කොහෙද"

එය තනි පුද්ගලයකුගේ අදහසක් නොවන බවක් ද පෙනී යයි.

ඊ ලඟට එක්කරනු ලැබ ඇති සටහන මගින් ඒ බව පෙන්නුම් කෙරෙයි. එහෙත් එය ප්‍රශ්නයක හැඩයෙන් මතු කරනු ලැබ ඇත.

"අලිත් රට හැර යන්න පටන් අරගෙනද?"

අලි රට හැර යාමක් නොව එය අලි මුහුදේ නෑමට ගිය අවස්ථාවක් බව තවත් ෆේස්බුක් සටහනක දැක්වෙයි.

"අලි නාන්න ගිහිල්ල. අපේ අය වැරදියට තේරුම් අරන්ද මන්ද?"

Image caption අලින්ට පෙර දැනුම් දීමක්

ඔහු නගන පැනය සම්බන්ධයෙන් ඔබටත් පිළිතුරක් ඇතුවා නියතයි.

මේ අතර අලි ඇතුන්ට ආදරය කරන ෆේස්බුක් රසවතෙක් යෝජනාවක් කරයි.

"අලින්ට පෙනෙන ලෙස වැල්ලේ බෝඩ් එකක් ගහන්න"

කෙසේවුවද, නාවික සහ වනජීවී නිලධාරීන්ගේ යෝධ ප්‍රයත්නය පල දරමින් අලි දෙන්නා වෙරළ ඔස්සේ ආපසු වනයට පිය නඟයි.

එම දසුන නරඹන අපේ රසවතෙක් මෙසේ ලියයි.

"බලන්නකෝ සී බාත් දාල යන අපූරුව"

එය කියවන ඕනෑම පුද්ගලයකු තුළ ජනිත කෙරෙන්නේ රසවත් හැඟීමක් නොවේද?

මේ අතර සංවාදය කෙමෙන් කෙමෙන් දේශපාලන මුහුණුවරක් ගනී.

මේ එවැනි අදහසකි.

"කැලේ කපන නිසා මුහුදට පැනලා"

වන විනාශය අලියාගේ පාරම්පරික වාසභූමිය අහිමි කිරීමක්ය යන පණිවුඩය ඒ කෙටි වචන කීපය තුළ අන්තර්ගත නොවන්නේද?

එම ප්‍රකාශය තවත් ෆේස්බුක් පණිවුඩයක් මගින් දේශපාලන විවේචනයේ කූඨප්‍රාප්‍තිය කරා ගෙන යයි.

"අලි ගැන බලන්නැති ආණ්ඩුවක් දැන් තියෙන්නේ. අලිත් සියදිවි නසා ගන්නයි හදන්නේ"

ප්‍රශ්නය කාට කියන්නද?

මීළඟ ෆේස්බුක් පණිවුඩය මගින් ඊට පිළිතුරක් ද සපයමින් මෙවැනි යෝජනාවක් කරයි.

Image caption ෆේස්බුක් පරිශීලනය කරන්නකුගේ ඉල්ලීමක්

"අලින්ටත් රටේ ඉන්න එලාවෙලා වගෙයි.සියදිවි නසා ගැනීම්. ජනාධිපතිතුමනි! ඔබේ අවධානය පිණිසයි"