සේවකයන් දිගටම වර්ජනයේ ;තෙල් බෙදා හැරීම යුද හමුදාව අතට

Image copyright Getty Images
Image caption වර්ජනයත් සමඟ ඉන්ධන පිරවුම් අසළ දිග පෝලිම්

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ නායකයන් කීප දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද බව අලුතින්ම ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

කොලොන්නාව ඛනිජ තෙල් පරිශ්‍රය අසල ගැටුම්කාරී තත්වයක් පවතී.

මේ අතර වැඩ වර්ජනය හේතුවෙන් අඩාලව පැවති ඛනිජ තෙල් සැපයුම යථා තත්වයට පත් කිරීම සඳහා රජයේ නියෝගය පරිදි මැදිහත් වූ යුද හමුදා භටයන් තෙල් බවුසර් දහයක් සැපයුම් සහිතව පිටත් කර හරින ලද බව හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මෙයින් ස්වල්ප වෙලාවකට පෙර බීබීසියට ප්‍රකාශ කළේය.

ඛනිජ තෙල් බෙදා හරිනු ලැබීම බදාදා (ජූලි 25) මධ්‍යම රාත්‍රියේ පටන් බල පැවැත්වෙන පරිදි අත්‍යවශ්‍ය සේවාවක් හැටියට රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීමත් සමඟ ඛනිජ තෙල් පරිශ්‍ර තුළට යුද හමුදාව ඇතුල් විය.

ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළ රජය එම සේවාවට සම්බන්ධ සියලු සේවකයන්ට රැකියාවන්ට වාර්තා කරන ලෙස දැනුම් දෙයි.

එම නියෝගය ප්‍රකාර සේවයට වාර්තා නොකරන සේවකයන් රැකියාව හැර ගිය සේ සලකන බවත් රජය කියා සිටියි.

ඛනිජ තෙල් බෙදා හැරීමේ ක්‍රියාවලිය රජය විසින් යථා තත්වයට පත් කරනු ලැබ ඇති හෙයින් තෙල් ප්‍රවාහනයේ නිරත කෙරෙන බවුසර්වලට ඉන්ධන ගබඩා වෙත වාර්තා කරන ලෙස ආණ්ඩුව දැනුම් දෙන බව මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි.

ඛනිජ තෙල් බෙදා හරිනු ලැබීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමත් සමඟ අද (26) අළුයම යුද හමුදාව කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයට ඇතුල් විය.

Image caption වර්ජන පියවර ආරංචි වීමත් සමඟ පිරවුම්හලක් අසල දසුනක්

තෙල් බෙදා හැරීමේ කාර්යය සඳහා යුද හමුදාව යොදවනු ලැබ ඇතත් එම කාර්යය පිළිබඳව හමුදා භටයන්ට දැනුමක් නොමැති බවට ඉදිරිපත් කෙරෙන ප්‍රකාශන සම්බන්ධයෙන් බීබීසී කොළඹ වාර්තාකරු අසාම් අමීන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්නගෙන් විමසීමක් කළ විට ඊට පිළිතුරු දුන් හමුදා නිලධාරියා "අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා ගෙන යාමේ ක්‍රම සැලසුම් ඇති බවත් එවැනි කාර්යයන් පිළිබඳව හමුදා භටයන්ට පුහුණුවක් ලබා දී ඇති බවත්" සඳහන් කළේය.

එසේම මෙවැනි කාර්යයන් සඳහා යුද හමුදාව මැදිහත් කෙරෙන පළමු අවස්ථාව මෙය නොවන බව පෙන්වා දුන් බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න, මීට පෙරත් ඛනිජ තෙල් සංස්ථාව අර්බුද වලට මුහුණ දුන් අවස්ථාවන්හි යුද හමුදාව සම්බන්ධ වී ඇති බව කියා සිටියේය.

ඒ සඳහා යුද හමුදාවට කාර්මික සහ තාක්‍ෂණික දැනුමක් ඇතැයි පවසන බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න තෙල් ප්‍රවාහනයේ දී බවුසර් වලට හමුදා ආරක්ෂාව ලැබෙන බවත් සඳහන් කළේය.

මේ අතර වැඩ වර්ජනයට සහයෝගය පළ කරන සේවකයන් කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය ඉදිරිපිට රැඳී සිටින බවත් වාර්තා වෙයි.

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව කැඳවා ඇති වර්ජනය හේතුවෙන් දිවයින පුරා තෙල් බෙදාහැරීමේ කටයුතු පසුගිය දින දෙක තුළ ඇණහිට තිබුණි.

Image copyright සංරක්‍ෂිත ඡායාරූපයකි
Image caption යුද හමුදාවට තෙල් බෙදා හැරීම පිළිබඳව දැනුමක් ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පවසයි

මෙම වැඩවර්ජනය කැඳවා ඇත්තේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණ සහ හම්බන්තොට වරාය තෙල් ටැංකි සංකීර්ණ ඛනිජ තෙල් සංස්ථාවට පවරා ගැනීම මෙන්ම සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීම යන ඉල්ලීම් මුල් කර ගනිමින් බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර