තෙල් බවුසර්වලට යුද හමුදා ආරක්ෂාව
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යුද හමුදා ආරක්ෂාව යටතේ තෙල් බවුසර් පිටත් කෙරේ

ඉන්ධන රැගත් බවුසර් 15ක් යුද හමුදා ආරක්ෂාව සමග කොලොන්නාව තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ සිට බෙදාහැරීමේ කටයුතු සඳහා පිටත් කිරීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව විසින් ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන් අඩාල වී තිබෙන තෙල් බෙදාහැරීමේ කටයුත්තට සහාය දක්වන ලෙස ශ්‍රී ලංකා පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් අනුව අඟහරුවාදා (ජුලි 25) රාත්‍රියේ සිට යුද හමුදා භට පිරිස් යෙදවීමට කටයුතු කොට තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එයට ඉහතදී ඛනිජ තෙල් බෙදාහැරීමේ සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට රජය මගින් ප්‍රකාශයට පත් කරන ලදි.

අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුවත් සේවයට වාර්තා නොකරන සේවකයන් සේවය හැරගිය පුද්ගලයන් සේ සලකන බව ද ආණ්ඩුව නිවේදනය කළේය.

එම නියෝගයෙන් අනතුරුව මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණය සහ කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයෙහි තෙල් බෙදාහැරීමේ කාර්යයේ නියුතුව සිටින කාර්යය මණ්ඩලයට අවශ්‍ය සහාය ලබාදීමට සහ අදාළ සංකීර්ණයන් හි ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යුද හමුදාව භට පිරිසක් යොදවා තිබේ.

වැඩ වර්ජනය මෙහෙයවමින් සිටි ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ නායකයන් කිහිප දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සමගම කොලොන්නාව ඛනිජ තෙල් පරිශ්‍රය අසල ගැටුම්කාරී තත්වයක් හටගත්තේය.

සබැඳි විෂයයන්