FCID පරීක්ෂණ ප්‍රමාද ඇයි?

Image copyright Getty Images

වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ දූෂණ චෝදනාවලට ලක්ව සිටින දේශපාලනඥයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට ප්‍රතිඥා දෙමින්ය.

යහපාලන ආණ්ඩුව බලයට පත් වී වසර තුනකට ආසන්න කාලයක් ගතව ඇති අතර වත්මන් ආණ්ඩුවේ ඇතැම් ප්‍රබලයන්ට ද මේ වනවිට එවැනිම වූ චෝදනා එල්ල වෙමින් පවතී.

චෝදනාවලට ලක් වූවන්ට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදයට අනුව දඬුවම් දිය යුතු බව ආණ්ඩුවේ ප්‍රබලයන් මෙන්ම ආණ්ඩුවට බලයට පත් වීමට සහාය දුන් සිවිල් සංවිධාන ද එවක පැවසූහ.

ඒ අනුව මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදු වූ බව කියන දූෂණ සහ වංචා පිළිබඳ සොයා බැලීම සඳහා වත්මන් ආණ්ඩුව විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) පිහිටුවනු ලැබීය.

ඒකාබද්ධ විපක්ෂය විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හඳුන්වනු ලබන්නේ වත්මන් ආණ්ඩුව "පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ" එක් පියවරක් ලෙසය.

FCID වෙත පැමිණිලි ලැබෙන ආකාරය

  • පොලිස්පති වෙත ලැබෙන පැමිණිලි ඒවායේ ස්වභාවය අනුව විවිධ කොට්ඨාසවලට හා විවිධ ආයතන වෙත යොමු කරනු ලබයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID), කොළඹ වංචා විමර්ශන කාර්යාංශය සහ අල්ලස් කොමිසම එම ආයතනයි.
  • FCID වෙත පැමිණිලි ලැබෙන්නේ එම ආයතන හරහාය.

ශ්‍රී ලංකා පොලිසියේ නිල වාර්තාවලට අනුව මේ දක්වා ලැබී ඇති පැමිණිලි පිළිබඳ සාරාංශය

  • ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව - 335
  • නීතිපති වෙත යොමු කර ඇති පැමිණිලි සංඛ්‍යාව - 89
  • මහාධිකරණවල නඩු පවරා ඇති සංඛ්‍යාව - 12
  • ගොනු වැසූ සහ වෙනත් ආයතනවලට යොමු කර ඇති සංඛ්‍යාව - 115
  • විමර්ශන යටතේ පවතින පැමිණිලි - 131

ශ්‍රී ලංකා පොලිසිය පවසන පරිදි නඩු පවරා ඇති පැමිණිලි පිළිබඳ කරුණු පහත දැක්වේ.

අනු අංකය චෝදනා විත්තිකරුගේ නම අධිකරණය
01 දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මුදල් රුපියල් මිලියන 36 අධික ප්‍රමාණයක් සාපරාධී විශ්වාස කඩ කිරීම 01. බැසිල් රාජපක්ෂ 02. අමිත කිත්සිරි රණවක (දිවිනැගුම අධ්‍යක්ෂ ජෙනරාල්) කොළඹ මහාධිකරණය
02 සතොස ආයතනයේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම (රුපියල් ලක්ෂ 38 අධික මුදලක්) 01. ජොන්ස්ටන් ප්‍රනාන්දු 02. තාජා මොහිදීන් ශාකීර් (හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ සතොස)03. නලීන් රුවන්ජීව ප්‍රනාන්දු (හිටපු සභාපති සතොස) කුරුණෑගල මහාධිකරණය
03 විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ මුදල් රුපියල් ලක්ෂ 50 තාරුණ්‍යට හෙටක් සංවිධානයට ලබා දීමෙන් සාවද්‍ය පරිහරණය 01. ගජවීර ආරච්චිලාගේ ධම්මික මන්ජීර පෙරේරා (විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්)02. නාලක හර්ෂජීව ගොඩහේවා (විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ හිටපු සභාපති)03. මොහොමඩ් නවුෆර් ඊබ්‍රහිම් (තාරුණ්‍යට හෙටක් සංවිධානයේ ක්‍රීඩා අධ්‍යක්ෂ) කොළඹ මහාධිකරණය
04 පීපල්ස් ලීසිං සමාගමට අයත් මුදල් රුපියල් මිලියන 388අධික මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම 01. උඩුනුවරගේ කිංස්ලි චන්දන ගුණවර්ධන (අධ්‍යක්ෂ සෙනින් ට්‍රස්ට් පුද්ගලික සමාගම)02. කිත්සෙන් සංජීව බණ්ඩාරනායක - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය හා පාලන)03. වෙන්ගප්පුලි ආරච්චිගේ සුසන්ත (අධ්‍යක්ෂ සෙනින් ට්‍රස්ට් පුද්ගලික සමාගම)04. වැල්ලවත්ත ආරච්චිගේ දුමිඳු චතුරංග සිල්වා (අධ්‍යක්ෂ සෙනිත් ට්‍රස්ට් පුද්ගලික සමාගම) කොළඹ මහාධිකරණය
05 පීපල්ස් ලීසිං සමාගමට අයත් මුදල් රුපියල් මිලියන 202 අධික මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම 01. උඩුනුවරගේ කිංස්ලි චන්දන ගුණවර්ධන (අධ්‍යක්ෂ සෙනිත් ට්‍රස්ට් පුද්ගලික සමාගම)02. කිත්සෙන් සංජීව බණ්ඩාරනායක - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය හා පාලන)03. වැල්ලවත්ත ආරච්චිගේ දුමිඳු චතුරංග සිල්වා (අධ්‍යක්ෂ සෙනිත් ට්‍රස්ට් පුද්ගලික සමාගම) කොළඹ මහාධිකරණය
06 පීපල්ස් ලීසිං සමාගමට අයත් මුදල් රුපියල් ලක්ෂ 50 අධික මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම 01. උඩුනුවරගේ කිංස්ලි චන්දන ගුණවර්ධන (අධ්‍යක්ෂ සෙනිත් ට්‍රස්ට් පුද්ගලික සමාගම)02. කිත්සෙන් සංජීව බණ්ඩාරනායක - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය හා පාලන)03. වෙන්ගප්පුලි ආරච්චිගේ සුසන්ත (අධ්‍යක්ෂ සෙනිත් ට්‍රස්ට් පුද්ගලික සමාගම)04. වැල්ලවත්ත ආරච්චිගේ දුමිඳු චතුරංග සිල්වා (අධ්‍යක්ෂ සෙනිත් ට්‍රස්ට් පුද්ගලික සමාගම) කොළඹ මහාධිකරණය
07 විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 මුදල් සාවද්‍ය පරිහරණය කිරීම 01. ලලිත් වීරතුංග (හිටපු ජනාධිපති ලේකම්)02. අනූෂ පැල්පිට (විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කොළඹ මහාධිකරණය
08 රුපියල් මිලියන 64 අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 15 ලබා ගැනීම සහ ඉතිරි මුදල් ඉල්ලා තර්ජනය කිරීම 01. ප්‍රසන්න රණතුංග (බස්නාහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය)02. මොරින් ස්ටෙලා රණතුංග ( හිටපු ප්‍රධාන අමාත්‍යවරයාගේ බිරිඳ)නරේජ් කුමාර් ෆාරික් (ව්‍යාපාරික) කොළඹ මහාධිකරණය
09 හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් අංක 111/03 ගඟබඩ පාර මල්වාන ලිපිනයේ උපයාගත් ආකාරය හෙළි කිරීමට නොහැකි අන්දමේ මුදල් රුපියල් මිලියන 200.03 භාවිත කරමින් අක්කර 16 ඉඩමක් මිලදී ගෙන එහි සුඛෝපභෝගී නිවසක් ඉදිකිරීම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගම්පහ මහාධිකරණය
10 Gowers කෝපරේට් සර්විසස් නමැති ආයතනය හරහා රුපියල් මිලියන 30 මුදලක් විශුද්ධිකරණය කිරීම 01. නාමල් රාජපක්ෂ (පා.ම - Gowers ආයතනයේ අයිතිකරු)02. ඉන්දික ප්‍රභාත් කරුණාජීව 03. සුජානි බෝගොල්ලාගම 04. ඔරෙනෙලා ඉරේෂා සිල්වා 05. නිත්‍යා සේනානි සමරනායක සීමාසහිත ගවර්ස් කෝපරේට් සර්විසස් පුද්ගලික සමාගම කොළඹ මහාධිකරණය
11 දිවී නැගුම ඉසුරුමත් නිවාස ව්‍යාපෘතියක් සඳහා අනුමැතියකින් තොරව රුපියල් බිලියන 2.99 සාවද්‍ය පරිහරණය 01. බැසිල් රාජපක්ෂ (හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය)02. ආර්.ඒ.ඒ. කේ රණවක (දිවිනැගුම අධ්‍යක්ෂ)03.වයි නිහාල් ජයතිලක (ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම්) කොළඹ මහාධිකරණය
12 දිවී නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2015 වසරේ ලිත් මුද්‍රණය සඳහා 20,400,000.00 ලබාගෙන මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම 01. ආර්.ඒ.ඒ. කේ රණවක (දිවිනැගුම අධ්‍යක්ෂ)02. බැසිල් රාජපක්ෂ (හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය) කොළඹ මහාධිකරණය

සිදු කෙරෙන අනෙක් සෑම විමර්ශනයක් පිළිබඳව අදාළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති බවත් පොලිසිය පවසයි.

ශ්‍රී ලංකා පොලිසියේ නිල වාර්තාවලට අනුව අදාළ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම්වලට අදාළ විස්තර

  • අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව - 56
  • අධිකරණයට ඉදිරිපත් වූ සංඛ්‍යාව - 10
  • (එකතුව 66)

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරන ලද පරීක්ෂණවලට අදාළව රාජසන්තක කළ හෝ කිරීමට නියමිත දේපළ

දේපළ වටිනාකම සැකකරුවන්
සන්නිවේදන උපකරණ සහිත ට්‍රක් රථයක් රුපියල් මිලියන 80 යෝෂිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු
ඇම්ට්‍රෑඩ් හෝල්ඩින් පුද්ගලික සමාගමේ පෞද්ගලික බැංකු තැන්පතු රුපියල් මිලියන 157.5 යෝෂිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු
මාතර පිහිටි බ්‍රවුන්ස්හිල් නමැති ඉඩම (අක්කර 01 රූඩ් 01) රුපියල් මිලියන 50 බැසිල් රාජපක්ෂ සහ තිස්ස ගලප්පත්ති
ගම්පහ ඔරුතොට පිහිටි ඉඩමක් (අක්කර 01 රූඩ් 02) රුපියල් මිලියන 150 විනී ගමගේ, උපුල් රන්ජන් අමරසිංහ (රාජපක්ෂ පදනමේ ලේකම්), ආරියතිලක දසනායක (ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති සහ රාජපක්ෂ පදනමේ භාණ්ඩාගාරික)
මහවත්ත මල්වාන අක්කර 16 ඉඩම සහ සුඛෝපභෝගී නිවස රුපියල් මිලියන 200 බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේසන්

මේ අතර දූෂණ චෝදනාවලට ලක්ව සිටින දේශපාලනඥයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන බවට ආණ්ඩුවේ ඇතැම් පාර්ශව අතරින්ම චෝදනා නැගේ.

කෙසේ නමුත් බ්‍රහස්පතින්දා (ජුලි 27) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ක්‍රියාත්මක කරනු ලබන පරීක්ෂණ සඳහා අන්‍යොන්‍ය විදේශ සහාය (Mutual Legal Assistance) ලබා ගැනීමට අවශ්‍ය බවය.

විශුද්ධිකරණයට ලක් කර ඇති ඇතැම් මුදල් හෝ දේපළ විදෙස් රටවල තිබීම හෝ එම ගනුදෙනු විදෙස් රටකදී සිදු කිරීම හේතුවෙන් අදාළ පරීක්ෂණ සඳහා වෙනත් රටවල සහාය ලබා ගැනීමට අවශ්‍ය බව ඔහු කියා සිටියේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වනවිට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් රටවල් 25 කින් අන්‍යොන්‍ය විදේශ සහාය ඉල්ලීම් 86 ක් ඉදිරිපත් කර ඇති බවය.

ඒ අතර:

  • එක්සත් රාජධානිය ඉල්ලීම් 13
  • සිංගප්පුරුව ඉල්ලීම් 13
  • ඉන්දියාව ඉල්ලීම් 13
  • ඇමරිකා එක්සත් ජනපදය ඉල්ලීම් 08 ක ද වේ.

එම ඉල්ලීම් අතරින් 39 ට දැනටමත් සහාය ලැබෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ක්‍රියාත්මකකරනු ලබන පරීක්ෂණ සඳහා කල් ගත වන්නේ ඇයි?

ඊට හේතු වශයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ:

  • පරීක්ෂණවල ඇති සංකීර්ණභාවය
  • විමර්ශන සඳහා වෝහාරික ගණකාධිකාරී දැනුම ලබා ගැනීමට යම් කාලයක් ගතවීම
  • විමර්ශන නිලධාරීන් පුහුණු කිරීමට කාලයක් ගතවීම
  • විදේශ රටවල සහාය ලබා ගැනීමට සිදුවීම

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්