ඇමති රවී කරුණානායක පල කළ අදහස්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඇමති රවී කරුණානායක මාධ්‍ය වෙත පළ කළ අදහස්

විදේශ අමාත්‍ය රවී කරුණානායක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියේ අද (අගෝස්තු 02) පෙරවරු 9.45ට පමණය. පෙරවරු 10.20ට පමණ නීතිපති දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීම ආරම්භ කරන ලදී.

හිටපු මුදල් ඇමතිවරයාගෙන් මුලින්ම විමසන ලද්දේ පර්පෙචුවල් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සමඟ ඇති සම්බන්ධතාවය පිළිබඳව ය.

විසිපස් වසරක් පමණ තිස්සේ ඇලෝසියස් පවුල, තම පවුලේ මිතුරන් වන බවත් වසර 10 ක් හෝ 12ක් තිස්සේ අර්ජුන් ඇලෝසියස් හඳුනන බවත් රවී කරුණානායක ඇමතිවරයා ප්‍රකාශ කළේය.

දියණියන් අතර

එමෙන්ම තම දියණියන් සහ අර්ජුන් ඇලෝසියස් ගේ දියණියන් අතර ද මිතු දම් පවතින බව ඔහු පැවසීය.

ඒ හැරෙන්නට තමා සහ අර්ජුන් ඇලෝසියස් අතර කිසිදු ව්‍යාපාරික සබඳතාවක් නොමැති බව වත්මන් විදේශ අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කළේය.

වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව තමන්ගේ පෞද්ගලික ව්‍යාපාරවලින් ද ඉවත් වූ බව අමාත්‍යවරයා කියා සිටියේය.

කෙසේ නමුත් අර්ජුන් ඇලෝසියස් දෙතුන් වතාවක් මුදල් අමාත්‍යංශයට පැමිණි බව නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම් හමුවේ හිටපු මුදල් ඇමතිවරයා පිළිගත්තේය.