රවිට එරෙහිව විශ්වාස භංගයක්

විදේශ අමාත්‍ය රවි කරුණානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.

මන්ත්‍රීවරුන් 33 දෙනෙකුගේ අත්සනින් යුත් මෙම විශ්වාසභංගය ඒකාබද්ධ විපක්ෂය විසින් අද (අගෝස්තු 03) පාර්ලිමේන්තුවට භාර දුන් බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවයට තහවුරු කළේය.

චෝදනා කීපයක් මුල් කර ගනිමින් 2016 වසරේදීත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 37 දෙනෙකු විසින් මුදල් අමාත්‍ය රවි කරුණානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන ලද නමුත් පාර්ලිමේන්තුවේ දී එය පරාජයට පත්විය.

එවර විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්ද 51ක් ලැබී තිබුණු අතර විපක්ෂව 145ක් ලැබී තිබුණි.

කෙසේ නමුත් මෙවර යෝජනාව ඉදිරිපත්වූයේ බැඳුම්කර කොමිසම හමුවට අමාත්‍ය රවි කරුණානායක කැඳවා ඔහුගෙන් විමසීම් කිරීමෙන් අනතුරුව ය.

"අත්‍ දෙකම ඔසවා"

දේශපාලන පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති වුවත්, ඇමති රවි කරුණානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් තම "අත්‍ දෙකම ඔසවා" ඊට සහය පළකරන බව අමාත්‍ය දයාසිරි ජයසේකර පසුගියදා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ද මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඇමති රවි කරුණානායකට එරෙහිව ඡන්දය භාවිත කරන බව ප්‍රකාශ කර ඇතැයි එකාබද්ධ විපක්ෂය නියෝජනය කරන බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පසුගියදා මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.

චෝදනා විමර්ශනය අවසන්වනතුරු රවි කරුණානායක සිය අමාත්‍ය ධුරයෙන් ඉවත්විය යුතු බව, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ද ප්‍රකාශ කළේය

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ (අගෝස්තු 02) කැබිනට් මාධ්‍ය හමුවේදී පැවසුවේ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ඊට මන්ත්‍රීවරුන් ගත යුතු ස්ථාවරය පිළිබඳව අදාළ පක්ෂ තීරණයක් ගනු ඇති බවය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර