ගම්වැසි පිහිටෙන් දළ ඇතු බේරෙයි

Image caption දළ රැක ගනිමින් බේරා ගැනීමේ ප්‍රයත්නය

උඩවළව ජාතික වනෝද්‍යානයේ සැරිසරන අවුරුදු හතළිස් පහක් පමණ වයසැති දළ ඇතෙක් එහි නැගෙනහිර මායිමේ පිහිටි මයිල ගසක සිරවී බිම වැටී අසාධ්‍යව සිටිය දී ගම්වාසීන් සහ වනජීවී නිලධාරීන්ගේ එකමුතු ප්‍රයත්නයක් මගින් බේරාගනු ලැබුණි.

වන ජීවී නිලධාරීන් විසින් ඇතා නිර්වින්දනය කරනු ලැබීමෙන් අනතුරුව මයිල ගසා කපා ඇතා ඉවත් කර ගෙන ඇත.

ගම් වැදී වගා විනාශ කිරීමට පුරුදුව සිටි දළ ඇතා උඩවළව ජාතික උද්‍යානයේ සිටින බවට දැනට නිරීක්ෂනය කර ඇති ඇතුන් දොලොස් දෙනාගෙන් එක් ඇතකු බව වනජීවී දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් භාර සහකාර අධ්‍යක්ෂ ප්‍රශාන්ත විමලදාස පවසයි.

තම වගාවන් වනසා දමන නමුත් විපතට පත් අවස්ථාවේ ඇතා බේරා ගැනීම සඳහා පනස් දෙනෙකුට අධික ගම්වාසීහු වන ජීවී නිලධාරීන්ට උදව් වෙමින් සිටියහ.

Image caption දළ සිරව ඇතු බිම වැටී සිටි ආකාරය

එම කාර්යය සඳහා තිස් දෙනෙක් පමණ වනජීවී නිලධාරීන් ද එක් වූහ.

වන ජීවී පශු වෛද්‍යවරු ඇතා නිර්වින්දන කරමින් සේලයින් ලබා දෙමින් සිටින අතරවාරයේ දළ සිර වී තිබූ මයිල ගස කපා ඉවත් කරන තෙක් අවශ්‍ය ආරක්ෂාව ද සැපයුනි.

Image caption ඇතා බේරා ගැනීමට ගස කපා ඉවත් කිරීමට සිදුවිය

දළ දෙක සහ හොඬය ගසේ හිරවීම නිසා නිරාහාරව සිටි දළ ඇතාට ගම්වාසීන් විසින් ආහාර සපයන ලද ආකාරයත් ඉතා සිත් ගන්නා දර්ශනයක් විය.

තවත් සබැඳි පුවත්