රවීට එරෙහි විශ්වාස භංගය ගැන ජවිපෙ මතය

Image copyright Getty Images
Image caption රවී කරුණානායකට ඇමති ධුරයෙන් ඉල්ලා අස් වෙන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දන්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි

රවී කරුණානායක කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරද්දී රජයේ නීතිපති දෙපාර්තමේන්තුවට බැඳුම්කර ගනුදෙනුවට අදාළ නිසි ක්‍රියාමාර්ග ගත හැකි වනු ඇතැයි යන්න පිළිබඳ ප්‍රශ්නයක් පැන නගින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ විමර්ශන කටයුතු අවසානයේ අදාළ නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති කොමිසමේ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබා දිය යුතු බවය.

"නීතිපති දෙපාර්තමේන්තුව රජයේ ආයතනයක්. රජයේ ඇමතිවරයෙක්ම චෝදනාවට ලක්වෙලා ඔහු කැබිනට් ඇමති ධුරයේ තියා ගෙන නීතිපති දෙපාර්තමේන්තුවට සාධාරණ ආකාරයට නීති ක්‍රියාමාර්ග ගත හැකි වනු ඇත්දැයි යන ප්‍රශ්නය තිබෙනවා" යනුවෙන් ඔහු සඳහන් කළේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

"ආණ්ඩුවට සදාචාරයක් තියෙනවා නම් ඔහු එම ධුරයෙන් ඉවත් කරන්න ඕනි. ඉවත් කර තමයි පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන යන්න ඕන. ඊට හේතුව තමයි ඔහු වැරදිකරු වුනත් නිවැරදිකරු වුනත් මේ වන විට ආණ්ඩුව එහි එක් පාර්ශවයක් බවට පත් වී තිබීම"

අමාත්‍ය රවී කරුණානායක පසුගිය 02 වෙනිදා ජනාධිපති කොමිසම ඉදිරියේ ප්‍රකාශ කළේ තමා මාස 9 ක් පුරා පදිංචිව සිටියේ අර්ජුන් අලෝසියස්ගේ සමාගමකින් මුදල් ගෙවා ලබා ගත් නිවසක යැයි නොදැන සිටි බවය.

නිවසේ කුලිය ලබා දීම පිළිබඳ ගනුදෙනුව සම්බන්ධයෙන් සිය බිරිඳ මූලික වී කටයුතු කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

විශ්වාස භංගයක්

මේ අතර විදේශ අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට නියමිතය.

මන්ත්‍රීවරුන් 33 දෙනෙකුගේ අත්සනින් යුත් අදාළ යෝජනාව පසුගිය 03 වෙනිදා ඔවුන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන එන්නේ නම් ඊට සහාය දෙන බව ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් ද පවසා තිබේ.

විශ්වාස භංග යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණ සහාය ලබා දෙන්නේ දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ අමාත්‍ය රවී කරුණානායක ධුරයෙන් ඉවත් කිරීම සඳහා එම යෝජනාව ගෙන ආ ඇතැම් පුද්ගලයන්ට එරෙහිව ද දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති බවය.

කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් සිය පක්ෂය පාර්ලිමේන්තුවේ දී තීන්දුවක් ගනු ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

"පාර්ලිමේන්තුවේ දී අපට තීරණය කරන්න පුළුවන් විශ්වාස භංගය සම්බන්ධයෙන් ගන්න තීරණය මොකක්ද කියලා. පාර්ලිමේන්තුව තුළ ඒ සඳහා නිශ්චිත ක්‍රියාමාර්ග ගොඩක් නැහැ"

මේ අතර රවී කරුණානායකට ඇමති ධුරයෙන් ඉල්ලා අස් වෙන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දන්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ බව ඇතැම් මාධ්‍ය තුළ ද පළ වී තිබිණි.

ඒ පිළිබඳ විමසීම සඳහා රවී කරුණානායක අමාත්‍යවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ ගත් නමුත් එය සාර්ථක නොවීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර