ගම්වැසි පිහිට ලත් දළ ඇතු අවසන් හුස්ම හෙළයි

දළ සහ හොඬය මයිල ගසක සිරවී දින කිහිපයක් නිරාහාරව සිටියදී බේරාගනු ලැබූ දළ ඇතා මියගිය බව වනජීවී නිලධාරීහූ පවසති.

උඩවළව ජාතික උද්‍යානයේ නැගෙනහිර මායිමේ පිහිටි රතඹලාගම මායිමට ආසන්නයේ මයිල ගසක හොඬය සහ දළ දෙක සිරවී බිම වැටී සිටියදී මෙම ඇතා ගම්වාසීන්ට හමුවී තිබුණි.

ඉන් අනතුරුව වනජීවී නිලධාරීන්ට ඒබව දන්වා වනජීවී පශු වෛද්‍යවරුන් ලවා ඇතා නිර්වින්දනය කර විදුලි කියතකින් මයිල ගස කපා ඇතා මුදවා ගැනීමට ඔවුහු කටයුතු කළහ.

Image caption බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් නැගී සිටුවීමට ගත් උත්සාහය

ඇතා නිර්වින්නද තත්වයෙන් මිදුන ද තනිව නැගිට ගැනීමට අපහසු තත්වයේ පසුවූ බැවින් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් නැගී සිටුවීමට වනජීවී නිලධාරීන් සහ ගම්වාසීහූ දැඩි උත්සාහයක් දැරූහ.

කෙසේ නමුත් වයස අවුරුදු 45ක් පමණ වූ මෙම දළ ඇතා පසුව මිය ගිය බව වනජීවී නිලධාරීහු පැවසුහ.

මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඇතා මිය ගිය තැන ආසන්නයෙන් වළක් කපා දළ ඇතා මිහිදන් කළ බව වනජීවී නිලධාරීහූ පැවසුහ.

Image caption බේරා ගැනීමට ගත් උත්සාහය

ගම් වැදී වගා විනාශ කිරීමට පුරුදුව සිටි දළ ඇතා උඩවළව ජාතික උද්‍යානයේ සිටින බවට දැනට නිරීක්ෂනය කර ඇති ඇතුන් දොලොස් දෙනාගෙන් එක් ඇතකු බව වනජීවී දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් භාර සහකාර අධ්‍යක්ෂ ප්‍රශාන්ත විමලදාස පවසයි.

තම වගාවන් වනසා දමන නමුත් විපතට පත් අවස්ථාවේ ඇතා බේරා ගැනීම සඳහා පනස් දෙනෙකුට අධික ගම්වාසීහු වන ජීවී නිලධාරීන්ට උදව් වෙමින් සිටියහ.

Image caption දළ සිරව ඇතු බිම වැටී සිටි ආකාරය

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර