උතුරු මැද පළාත් සභාව ගිනියම්; "වරද කාගෙද?"

Image copyright www.nc.gov.lk

උතුරු මැද පළාත් සභාවේ න්‍යාය පත්‍රය ගිනි තබමින් අද (අගෝස්තු 08) සභාවාරය කඩාකප්පල් කරනු ලැබීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම එකිනෙකාට චෝදනා කර ගනිති.

පසුගිය සභාවාරයේ දී පත්කර ගන්නා ලද නව සභාපති ඩි.එම්.අමරතුංග ගේ ප‍්‍රධානත්වයෙන් අද සැසිවාරය ආරම්භ වුණත් එම රැස්වීම ගාල ගෝට්ටි හූ කීම් සහ න්‍යාය පත්‍රයට ගිනි තැබීමෙන් පැයකටත් අඩු කාලයක් ඇතුළත අවසන් කිරීමට සිදුවිය.

අද උදේ වරුවේ ආරම්භ වූ මාසික රැස්වීම ගැටුම්කාරී තත්වයකට හැරුණේ පසුගිය (ජුලි 08 ) සභා වාරයේ දී හිටපු සභාපතිවරයා ඉවත් කරමින් නීති විරෝධී අන්දමින් නව සභාපතිවරයකු පත්කර ගෙන ඇති බවට කේ.එච්.නන්දසේන පළාත් සභා මන්ත්‍රීවරයා විසින් චෝදනා කරනු ලැබීමත් සමඟයි.

එම විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙන් බීබීසිය කළ විමසීමකදී අදහස් දැක්වූ උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමති එස්.එම්. රන්ජිත් සමරකෝන් පළාත් සභා මන්ත්‍රීවරයා, හිටපු සභාපති ඩී.එම්.ආර්.සිරිපාල ඔහුගේ පදවියෙන් ඉවත් කරන ලද්දේ පළාත් සභා නීතියට පටහැණිව යමින් යයි කියා සිටියේය.

"විශ්වාස භංග යෝජනාවක් ගෙනාවා නම් එය න්‍යාය පත්‍රයට ඇතුළත් කර විවාදයට ගනිමින් පක්ෂ විපක්ෂ අදහස් විමසා ඡන්ද විමසීමක් මගින් එම ඉවත් කිරීම සිදු කළ යුතුයි. මෙතැන එවැන්නක් සිදු වුණේ නැහැ. අවුරුදු තිහක උතුරු මැද පළාත් සභා ඉතිහාසයේ කවදාවත් මේ වගේ දෙයක් සිද්ධ වෙලා නැහැ" හිටපු මහ ඇමති එස්.එම්. රන්ජිත් සමරකෝන් පවසයි.

එබැවින් මහ ඇමති පේෂල ජයරත්න සහ පළාත් සභාවේ පාලක පක්ෂය 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය උල්ලංඝණය කරන බවට හිටපු මහ ඇමතිවරයා චෝදනා කරයි.

" දැන් ඉන්න මහ ඇමතිවරයා පත් කර ගත්තෙත් ඔය විධියටමයි. ඔහුගේ ඇමති මණ්ඩලය පත් වුනෙත් නීතියට පටහැණි ආකාරයට" ඔහු සඳහන් කළේය.

පළාත් සභාවක ඇමතිවරුන් සහ සභාපතිවරයා ඉවත් කිරීමේ කාර්යය පළාත් සභා නීතිය අනුව සිදු විය යුතු බව කියා සිටින හිටපු මහ ඇමති එස්.එම්. රන්ජිත් සමරකෝන්, උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී. විග්නේශ්වරන් ඒ සම්බන්ධයෙන් පූර්වාදර්ශයක් දී ඇති බවත් පෙන්වා දුන්නේය.

"විග්නේශ්වරන් මහ ඇමතිතුමා මුලින්ම කළේ චෝදනා එල්ල වී ඇති ඇමතිවරුන්ට එම චෝදනා ඉදිරිපත් කිරීම. ඊ ලඟට ඒවා විභාග කිරීමට කමිටුවක් පත් කළා. එම කමිටු වාර්තාව ලැබීමෙන් පස්සෙයි- උතුරු පළාත් සභාවේ ඇමතිවරුන් ඉවත් කිරීම සිද්ධ වුණේ. එහෙම ක්‍රමවේදයක් තියෙනව. නමුත් උතුරු මැද පළාත් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීමේ දී එවැන්නක් සිදු වුණේ නැහැ" හිටපු මහ ඇමති එස්.එම්. රන්ජිත් සමරකෝන් චෝදනා කරයි.

එම නීති විරෝධී ක්‍රියාමාර්ගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් හිටපු මහ ඇමතිවරයා පවසයි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රතිචාරය

උතුරු මැද පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ඉදිරිපත් කරන චෝදනා බැහැර කරන ආණ්ඩු පක්ෂය, හිටපු සභාපතිවරයා ඉවත් කොට නව සභාපතිවරයා පත් කර ගැනීමේ ක්‍රියාවලිය පළාත් සභා පනත අනුව අකුරටම සිදු වූ බව කියා සිටියි.

බීබීසී සිංහල සේවය කළ විමසීමක දී ආණ්ඩු පක්ෂය සිය ප්‍රතිචාරය පළ කළ පළාත් සභා මන්ත්‍රී නීතිඥ කස්තුරි අනුරාධනායක 'හිටපු සභාපති ඩී.එම්.ආර්.සිරිපාලට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් වූ විට එම සභාපතිවරයා සෙන්කෝලය සිය කාමරයට ගෙන ගොස් අදාළ විභාගය පැවැත්වීමට බාධා කළ' බව කියා සිටියේය.

අනතුරුව පොලිසියේ මැදිහත් වීමෙන් සෙන්කෝලය යළි තැන්පත් කොට නිසි පරිදි සභාව කැඳවා ඡන්ද විමසීමකින් හිටපු සභාපතිවරයා ඉවත් කරමින් ඩී.එම්.අමරතුංග පළාත් සභා මන්ත්‍රීවරයා සභාපති පදවියට තෝරා පත් කර ගත් බව පළාත් සභා මන්ත්‍රී නීතිඥ කස්තුරි අනුරාධනායක පවසයි.

"පළාත් සභා නීතිය අනුව සභාපතිවරයකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවක කළ යුතු වන්නේ එම සභාපතිවරයා සිය අසුනින් ඉවත් වෙමින් තාවකාලික සභාපතිවරයකු යටතේ විවාදයට ඉඩ සැලසීම. ඒ වෙනුවට හිටපු සභාපතිවරයා කළේ සෙන්කෝලය සිය කාමරයට ගෙනගොස් විවාදයට බාධා කිරීමයි" කස්තුරි අනුරාධනායක පළාත් සභා මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

නව සභාපතිවරයා පත් කර ගනු ලැබුණේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම පළාත් සභාවෙන් පිටවී සිටිද්දී බව මන්ත්‍රීවරයා පිළිගනී.

"විශ්වාස භංගය පිළිබඳ විවාදයට සහභාගී නොවී ඉන් බැහැරව සිට ඒ අතරවාරයේ අලුතින් පත් කර ගත් නව සභාපතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම පළාත් සභාව තුළ ගැටුම්කාරී ලෙස හැසිරීම ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝග කිරීමක්" පළාත් සභා මන්ත්‍රී නීතිඥ කස්තුරි අනුරාධනායක පවසයි.

නව සභාපතිවරයා පත් කර ගන්නා ලද ආකාරය නීති විරෝධී බවට විපක්ෂ කණ්ඩායම කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ඔහු බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර