"විභාග අනන්‍යතාව නැත්නම් ප්‍රතිපලත් නැහැ"

Image caption විභාගයකට වාඩිවීමට පෙර අනන්‍යතාව සහතික කිරීම අනිවාර්ය වෙයි

මුහුණු ආවරණය (VEIL ) නිරාවරණය කරමින් සිය අනන්‍යතාවය තහවුරු කිරීමට අසමත් අපේක්‍ෂිකාවන්ට විභාගයට හිඳ ගැනීමට අවසර ලැබෙන නමුත් පරීක්ෂණයකින් අනතුරුව ඔවුන්ගේ ප්‍රතිඵල අත්හිටවීමට බලය ඇති බව විභාග කොමසාරිස් ඩබ්ලිව්. එම්. ජේ. පුෂ්පකුමාර පවසයි.

බීබීසී සිංහල සේවය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළ විභාග කොමසාරිස්වරයා, විභාග ශාලාවට ඇතුල් වීමට පෙර සියලු අපේක්ෂකයන්ගේ අනන්‍යතාව පරීක්ෂා කරන අතර හැඳුනුම් පත හෝ විදේශ ගමන් බලපත්‍රය මගින් එය තහවුරු කළ හැකි බව සඳහන් කළේය.

"මුහුණු ආවරණය පළඳින විභාග අපේක්‍ෂිකාවන්ට ඔවුන්ගේ මුහුණු නිරාවරණය කරමින් සිය අනන්‍යතාවය තහවුරු කරන්න පුළුවන්. ඒ සඳහා සෑම විභාග ශාලාවකම කාන්තා නිලධාරිනියන් නිරත කෙරෙනවා" විභාග කොමසාරිස්වරයා පවසයි.

අපේක්ෂකයන් යම්කිසි විභාගයක ප්‍රශ්න පත්‍ර කීපයකට පිළිතුරු ලියන විට ඒ හැම අවස්ථාවකදීම ඔවුන්ගේ අනන්‍යතාව පරීක්ෂා කිරීම අනිවාර්ය බවත් ඔහු කියා සිටියි.

එවැනි ක්‍රියා මාර්ගයක් ගනු ලබන්නේ සැබෑ අපේක්ෂකයා වෙනුවට වෙනත් ව්‍යාජ තැනැත්තෙක් හෝ තැනැත්තියක් මුහුණු ආවරණය කරමින් විභාගයට පෙනී සිටීම වැලක්වීමට බවත් එය සෙසු සියලු විභාග අපේක්ෂකයන්ට සාධාරණය ඉටු කිරීමක් වන බවත් කොමසාරිස්වරයා පෙන්වා දෙයි.

Image copyright Getty Images
Image caption වේල් පළඳින අපේක්ෂිකාවන් මුහුණ නිරාවරණය කොට අනන්‍යතාව තහවුරු කළ යුතුව ඇත.

ඇතැම් විභාග අපේක්ෂිකාවන් මුහුණු ආවරණ සහිතව (VEIL ) විභාග වලට පෙනී සිටීමේ දී කුඩා 'මයික්‍රොෆෝන්' සහ විද්‍යුත් උපකරණ වේල් අස්සේ සවි කොට සඟවා තබා ගනිමින් පිළිතුරු ලියා ඇති බවට පැමිණිලි ලැබී තිබුණ බව අධ්‍යාපන නියෝජ්‍ය ඇමති වේලුසාමි රාධක්‍රිෂ්ණන් පසුගියදා (අගෝස්තු 08) බීබීසිය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී සඳහන් කළේය.

"අපි මේ තහනම ප්‍රකාශයට පත් කළේ ඇතැම් අපේක්ෂිකාවන් මයික්‍රොෆෝන් සහ විද්‍යුත් උපකරණ ආදිය 'වේල්' අතර සඟවා තබා ගනිමින් විභාග වංචා සිදු කරන බවට තොරතුරු ලැබීම සැලකිල්ලට අරගෙනයි" නියෝජ්‍ය ඇමතිවරයා පවසයි.

"බ්ලූ ටූත්" ( BLUETOOTH) සහ ජංගම දුරකථන පාවිච්චි කරමින් විභාග වංචා සිදු කරන ලද අවස්ථා වාර්තා වී ඇති බව ඩබ්ලිව්.එම්.ජේ.පුෂ්පකුමාර විභාග කොමසාරිස්වරයාත් පිළිගනී.

එවැනි අවස්ථා මග හැරීමට කලක් පටන් ක්‍රියාමාර්ග ගනිමින් තිබුණ අතර එය තවත් දැඩි කිරීමට මෙවර පියවර ගෙන ඇති බව ඔහු අවධාරණය කරයි.

මුහුණු ආවරණය නිරාවරණය කරමින් අනන්‍යතාව පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් සංස්කෘතිකමය හේතු දක්වමින් ඇතැම් ප්‍රජා කාණ්ඩ කෙරෙන් විරෝධයක් මතුව තිබේදැයි බීබීසිය විමසූ විට ඊට පිළිතුරු දුන් කොමසාරිස්වරයා "එම ජන කොටස් මේ කාරණයේ අරමුණ තේරුම් ගෙන සිටින" බව සඳහන් කළේය.

Image caption විභාග වංචා හැම සමාජයකම ප්‍රශ්නයක් වී ඇත

සිය මුහුණු ආවරණය ඉවත් කර අනන්‍යතාව තහවුරු කිරීමට අසමත් අපේක්ෂකයන්ගේ විභාග ප්‍රතිඵල අවලංගු කිරීමට විභාග පනත අනුව සිය දෙපාර්තමේන්තුවට බලය ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

"අනන්‍යතාව සහතික කරන්න බැරි අයගේ ප්‍රතිඵල අත්හිටවීමට පනතෙන් බලය ලැබෙනවා. ඔවුන්ට විභාගයට ලියන්න පුළුවන්. ඒත් ප්‍රතිඵලය නොදෙන්න පුළුවන්. විභාග වංචා කරපු අයගේ ප්‍රතිඵල නිකුත් නොකළ අවස්ථා අපේ ඉතිහාසයේ තියෙනව" විභාග කොමසාරිස් ඩබ්ලිව්. එම්. ජේ. පුෂ්පකුමාර බීබීසියට කියා සිටියේය.