ඉන්දීය ධීවරයන් 49ක් යාපනයේ; තමිල්නාඩුවේ ධීවර උද්ඝෝෂණ

Image caption ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී කලින් වතාවක අත්අඩංගුවට ගත් බෝට්ටුවක්

පසුගිය දින දෙක ඇතුළත ශ්‍රී ලංකා මුහුදු තීරයට අනවසරයෙන් ඇතුල් වූ ඉන්දියානු ධීවරයන් 49 දෙනකු අත්අඩංගුවට ගත්බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

එම අත්අඩංගුවට ගැනීම් පිළිබඳව බීබීසිය කළ විමසීමක දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් දුමින්ද වලාකුළුගේ, අගෝස්තු හත්වෙනිදා රාත්‍රියේ පටන් අට වෙනිදා රාත්‍රිය තෙක් අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදට ඇතුල් වූ ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා දොළහක් සහ ධීවරයන් 49 දෙනා අත්අඩංගුවට ගත් බව සඳහන් කළේය.

"එම අත්අඩංගුවට ගැනීම් සිදු කරන ලද්දේ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය මගිනුයි. 'බොටම් ට්‍රෝලර්' තහනම් පන්න ක්‍රමයේ නිරත වෙමින් සිටියදී අත්අඩංගුවට ගන්නා ලද ට්‍රෝලර් යාත්‍රා කරෙයිනගර් 'එළාර' නෞකා ආයතනයේ රඳවා තිබෙනවා. ධීවරයන් 49 දෙනා කන්කසන්තුරේ නාවික මධ්‍යස්ථානයට ගෙනැවිත් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනයේ ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට භාර දුන්නා" ලුතිනන් කමාන්ඩර් දුමින්ද වලාකුළුගේ බීබීසියට ප්‍රකාශ කළේය.

සතියේ දිනවල සඳුදා,බදාදා ,සිකුරාදා සවස සහ සෙනසුරාදා දිනයන්හි ඉන්දීය ධීවර බෝට්ටු ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුල් වෙන බව හඳුනා ගෙන ඇතැයි පවසන ලුතිනන් කමාන්ඩර් දුමින්ද වලාකුළුගේ, එවැනි දිනයක ඉන්දියානු ධීවර යාත්‍රා 400 ක් පමණ ශ්‍රී ලංකා මුහුදට පිවිසෙන බව පවසයි.

"එවැනි අනවසර ඇතුල්වීම් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්. එවැනි ක්‍රියා නතර කිරීමේ මූලික වගකීම පැවරෙන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවට" ලුතිනන් කමාන්ඩර් දුමින්ද වලාකුළුගේ කියා සිටියි.

Image caption ශ්‍රී ලංකා සහ ජාත්‍යන්තර මුහුදු සීමාව දැක්වෙන සිතියමක්

වසර තිහක සිවිල් යුද සමයේ උතුරු පළාතේ සහ මන්නාරම දේශීය ධීවර ප්‍රජාවට සිය ජීවනෝපාය වූ මුහුද අහිමි වූ අතර දැන් විදේශීය ධීවරයන් පැමිණ 'බොටම් ට්‍රෝලර්' තහනම් පන්න ක්‍රමයේ නිරත වීම නිසා විශාල අසාධාරණයක් සිදු වෙන බවත්, අනිත් අතින් ඉන්දීය මුහුදු තීරයට ප්‍රවේශ වෙන ශ්‍රී ලාංකික ධීවරයන් ඉන් වළක්වා ගැනීම සඳහා නිරන්තරයෙන් ඉන්දියාවත් සමඟ කතිකාවක නිරත වෙමින් සිටින බවත් ලුතිනන් කමාන්ඩර් දුමින්ද වලාකුළුගේ සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකාව විසින් අත්අඩංගුවට ගන්නා ලද ඉන්දීය ධීවරයින් සහ යාත්‍රා වහා නිදහස් කරන ලෙසට බල කරමින් තමිල්නාඩු ධීවරයෝ අද (අගෝස්තු 09) විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළහ.

Image caption ශ්‍රී ලංකාව විසින් නිදහස් කරන ලද ඉන්දීය ධීවරයන් කණ්ඩායමක්

පුදුකෝට්ටේ හා රාමනාදන්පුරම් ප්‍රදේශයන්හි ධීවරයන් මුහුදු යාමෙන් වැළකී සිය විරෝධතා ව්‍යාපාරය පෙරට ගෙන යමින් සිටි බව තමිල්නාඩුවෙන් වාර්තා වෙයි.