දඩ වැඩිවී, වැඩ වැඩි වේද?

  • 2017 අගෝස්තු 17
Image copyright Getty Images

නව රථ වාහන දඩ මුදල් සම්බන්ධයෙන් වාහන හිමියන්ගෙන් හා රියදුරන්ගෙන් මිශ්‍ර අදහස පළ වෙමින් තිබේ.

ඇතැම් වැරදි සඳහා රුපියල් 25,000 දක්වා දඩය වැඩි කිරීම සම්බන්ධයෙන් බහුතර රියදුරන් විරෝධය නොදක්වන නමුත් රුපියල් 10,000 සීමාවට වැඩි කළ ඇතැම් දඩ සම්බන්ධයෙන් ඔවුන් පළකරන්නේ කණස්සල්ලකි.

රථවාහන අනතුරුවලින් මිනිස් ජීවිත නැතිවීම වසරින් වසර ඉහළ යාමත් සමග රථවාහන අනතුරු අඩු කිරීමේ අරමුණින් රථ වාහන වැරදි සඳහා දඩ මුදල් වැඩි කිරීමේ යෝජනාව රජය ගෙන ආවේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඉදිරිපත් කළ 2017 වසර සඳහා වූ අයවැය වාර්තාව සමගය.

2016 වසරේ පමණක් මාර්ග අනතුරු නිසා මරණ 3003 සිදුව තිබේ.

කෙසේ නමුත් බස්රථ හිමියන් හා අනිකුත් රියදුරන්ගෙන් ඊට එල්ල වූ විරෝධයත් සමග එම යෝජනාව අදාළ පාර්ශව සමග සාකච්ඡා කර අවශ්‍ය වෙනස්කම් කර පසුව සළකා බැලිමට තීරණය විය.

ඒ අනුව සැකසූ නව යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගනු ලැබීය.

25,000 අවම දඩයක් පැනවීමට නිර්දේශ වී ඇත්තේ පහත සඳහන් රථ වාහන වැරදි සඳහාය.

  • වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය
  • රියදුරු බලපත්‍රයක් නොමැති තැනැත්තන් සේවයේ නියුක්ත කිරීම
  • මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව රිය ධාවනය
  • දුම්රිය මාර්ගයක් තුළට අපරීක්ෂාකාරීව මෝටර් වාහනයක් ඇතුළු කිරීම
  • වලංගු රක්ෂණාවරණයක් නොමැතිව රිය ධාවනය

බීබීසි සිංහල සේවය සමග අදහස් දැක්වූ රියදුරන් ඉහත කී වැරදි සඳහා පනවන දඩ මුදල් සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නොදැක්වූ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ද ඒ සඳහා විරෝධයක් නොමැති බව මාධ්‍ය වෙත පවසා තිබුණි.

Image copyright megapolismin.gov.lk

කෙසේ නමුත් රියදුරන් බහුතරයකගේ විරෝධය එල්ලවන්නේ රුපියල් 25,000 දඩයට අමතරව වැඩි කර තිබූ ඇතැම් දඩ මුදල් සම්බන්ධයෙනි.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
රු 25,000 අවම දඩය ගැන ජනතා අදහස්

එලෙස වැඩි කළ දඩ මුදල් පහත දැක්වේ

  • අධික වේගයෙන් රිය පැදවීමේදී අවම දඩය, වාහනය පැදවූ වේගය අනුව නියම වන අතර එය රුපියල් 3,000 රුපියල් 5,000 රුපියල් 10,000 සහ රුපියල් 15,000 වශයෙන් වේ.
  • වමෙන් ඉස්සර කිරීම සඳහා වූ (පසුකර යාම) අවම ස්ථානීය දඩය රුපියල් 2000 දක්වා වැඩි කෙරෙනු ඇත.
  • වෙනත් තැනැත්තන් කෙරෙහි නොසැළකිලිමත්ව හෝ යුක්ති සහගත සැලකිල්ලක් නොමැතිව රිය ධාවනය කිරීමේ වරදට අවම ස්ථානීය දඩය රුපියල් 10,000 කි
  • අපරීක්ෂාකාරීව හෝ අනතුරුදායක ආකාරයකින් හෝ අන්තරාදායක වේගයකින් මෝටර් වාහනයක් ධාවනය කළහොත් පැනවෙන අවම දඩය රුපියල් 10,000 දක්වා වැඩි කර තිබේ

විශේෂයෙන්ම අන්තරාදායක ලෙස හා නොසැළකිලිමත්ව රිය ධාවනයට රුපියල් 10,000 දඩයක් පැනවීමට එරෙහිව තම විරෝධය පළ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

"මේ දඩය පොලිසියට ඕනෑම ආකාරයට ලියන්න පුළුවන්. මේකට අපි විරුද්ධයි. මේවා නිරාකරණය කරගෙන තමයි මේ සංශෝධනය කළ යුත්තේ. මේ ගැන අපි බලධාරීන් සමග සාකච්ඡා කරනවා" යනුවෙන් ඔහු කියා සිටියේය.

දඩ පැනවීමෙන් පමණක් රිය අනතුරු වළකාගත හැකි ද?

Image copyright Getty/ SENA VIDANAGAMA

ප්‍රවාහන කටයුතු සම්බන්ධ ජාත්‍යන්තර උපදේශකවරයෙකු වන මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් කුමාරගේට අනුව දඩ මුදල් පැනවීමෙන් පමණක් රිය අනතුරු වළකාගත නොහැක.

ඒ සඳහා විශේෂයෙන් කළ යුත්තේ ආරක්ෂාව සහිත මාර්ග පද්ධති ගොඩනැගීම බව ඔහු බීබීසී සිංහල සේවය සමග කියා සිටියේය.

"මෑත කාලයේ අපි මහාමාර්ග පද්ධතිය දියුණු කරන්න විශාල ආයෝජනයක් කර තිබෙනවා, නමුත් ආරක්ෂාව සම්බන්ධයෙන් වැය කරලා තියෙන මුදල ප්‍රමාණවත් නැහැ"

"හුඟක් තැන්වල පුවරු නැහැ, මංසන්ධි නිසි පිළිවෙළක් නැහැ, රෑට විදුලි ආලෝකය නැහැ, වංගුවල ඒ දුර ප්‍රමාණය නැහැ මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ගොඩක් අඩුපාඩු ඇති බව අපි කරලා තියෙන පරීක්ෂණවල පෙනෙන්න තියෙනවා"

මහාමාර්ග සැකසීමේ දී පදිකයන්ට, පාපැදිකරුවන්ට, බස්රථවල යන අයට නිසි ප්‍රමිතීන්ට අනුව ආරක්ෂණ පද්ධති ගොඩනැගිය යුතු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුණි.

දඩ මුදල් දැන් ඇති ප්‍රමාණයට වඩා දෙගුණයකින්වත් සංශෝධනය විය යුතු බව තමන් පිළිගන්නා බව කී මහාචාර්ය අමල් කුමාරගේ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය අනුව විශාල දඩ මුදල් පැනවීමේ දී එයට ලැබෙන්නේ සෘණාත්මක ප්‍රතිඵල බව අත්දැකීමෙන් තමන් දන්නා බව සඳහන් කළේය.

"මොකද ඒ වැරැද්ද කරලා, ඇත්ත ගානට වඩා අඩු ගණනකින් ගැලවිලා යන්න පුළුවන් දොරටු මෙහෙ තියෙනවා, ඒ නිසා දඩ වැඩි කිරීමට වඩා අවශ්‍ය වන්නේ කාලයක් තිස්සේ හඳුන්වා දීමට උත්සහ කරන ලකුණු ක්‍රමය"

Image copyright Getty Images

මේ අතර "රියදුරු අවාසි සහගත ලකුණු ක්‍රමවේදය" ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ බලතල මහේස්ත්‍රාත්වරුන් හා පොලිස් නිලධාරීන් වෙත පැවරීමට අවශ්‍ය නීතිමය සංශෝධන කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ සම්බන්ධයෙන් අගෝස්තු 15 වෙනිදා පැවති කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වූ බව රජයේ ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක සඳහන් කළේය.

කැබිනට් මණ්ඩලය අනුමත කළ දඩ මුදල් සංශෝධනය ක්‍රියාත්මක කළ හැක්කේ ඊට අදාළ අණ පනත් පාර්ලිමේන්තුවේ සංශෝධනය කිරීමෙන් අනතුරුව වන අතර ඒ සඳහා යම් කාලයක් ගතවනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර