'විල්පත්තු සහ කොටි දඩයම': ෆේස්බුක් හිමියන් වෙත ඉල්ලීමක්

  • 2017 අගෝස්තු 19
Image copyright Facebook

විල්පත්තුවේ දී මරණයට පත්ව ඇති බව සඳහන් කොටියෙකුගේ ඡායාරූප පෙළක් සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වෙමින් පවතී.

එක් ජනකොටසකට ඇඟිල්ල දිගු කරමින් ෆේස්බුක් පිටුවක පසුගිය 16 වෙනිදා එසේ පළ කරන ලද ඉහත කී ඡායාරූප පෙළ හුවමාරු (Share) වී ඇති වාර ගණන දොළොස් දහස ඉක්මවා ඇත.

වන විනාශය සහ වන සතුන් දඩයම් කිරීමට එරෙහිව ශ්‍රී ලංකාවේ සමාජ ජාල තුළ ප්‍රබල ජනමතයක් ගොඩ නැගෙමින් පවතී.

යම් කිසි පුද්ගලයෙකු, මරා දමන ලද වන සතුන් සමග සිටින ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් මීට වසරකට පමණ ඉහත දී සමාජ ජාල ඔස්සේ හුවමාරු වූ අතර එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා ෆේස්බුක් ඇතුළු සමාජ ජාල ඔස්සේ දියත් වූ ව්‍යාපාරය ඊට කදිම උදාහරණයකි.

එමෙන්ම උකුස්සෙකු 'පණ පිටින් හම ගසන' අයුරු දැක්වෙන ඡායාරූපයක පෙනී සිටි පුද්ගලයන් හඳුනා ගැනීමට උපකාර කරන ලෙස ඉල්ලා සමාජ ජාල ඔස්සේ එවැනිම ව්‍යාපාරයක් දියත් විය.

ඒ අනුව වන සහ වන වන සත්ත්ව සම්පත ආරක්ෂා කර ගැනීමටත් එවැනි සම්පත් විනාශ කරන අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමටත් සමාජ ජාල ඔස්සේ ලැබෙන පිටුවහල ගැන කීමට තවත් අටුවාටීකා අවශ්‍ය නොවේ.

මේ අතර විශාල වශයෙන් සමාජ ජාල තුළ හුවමාරු වෙමින් පවතින මුලින් සඳහන් ඡායාරූප පෙළෙහි සිටින කොටියා සැබෑ ලෙසම හමු වී ඇත්තේ ගම්පොල දෙල්තොට ලූල්කඳුර වතුයායෙන් බව ශ්‍රී ලංකා වනජීවී භාරය පවසයි.

විල්පත්තුවේද?

එම වතු යායේ නාරන්හින්න කොටසේ පාලකවරයා තමන් වෙත ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් බව ශ්‍රී ලංකා වනජීවී භාරය යටතේ පවතින ජාතික වනජීවී අපරාධ වැළැක්වීමේ ඒකකයේ නිලධාරි ඉරෝෂ් පෙරේරා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසීය.

විෂ ශරීරගත වීමකින් හෝ මෝටර් රථයක ගැටීමෙන් එම කොටියා මරණයට පත්ව ඇතැයි උපකල්පනය කළ හැකි බව කී ඔහු කොටියාගේ මළ සිරුර මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය ඒකකය වෙත යොමු කර ඇති බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සමාජ ජාල සහ වෙබ් අඩවි ඔස්සේ ව්‍යාජ පුවත් (Fake News) සංසරණය වීමේ ප්‍රවණතාවක් මෑත කාලය තුළ දක්නට ඇත.

2016 වසරේ ඇමරිකානු ජනාධිපතිවරණයට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙකු තරග කරන බව පවසමින් ෆේස්බුක් ඔස්සේ පළ වූ එවැනි වාර්තාවක් 7000 කට අධික පිරිසක් විසින් 'share' කර තිබිණි.

ශ්‍රී ලාංකිකයන්ට වීසා බලපත්‍ර නොමැතිව ඇමරිකාවට ඇතුළු වීමට අවසර ලබා දෙමින් එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා ඇති බවට පළ වූ වාර්තාව ඒ සඳහා තවත් එක් උදාහරණයකි.

එමෙන්ම "පඟර නැට්ටා" නමැති සතෙකුගේ යයි සඳහන් ඡායාරූප පෙළක් පසුගිය දින කිහිපය තුළ සමාජ ජාල ඔස්සේ හුවමාරු වූ අතර එය මුගටියෙකුගේ ඡායාරූපයක් බව වනජීවී නිලධාරීහු පසුව තහවුරු කළහ.

ඡායාරූපවල විශ්වසනීයත්වය

Image copyright FACEBOOK
Image caption දඩයම් කරන ලද බවට විශ්වාස කෙරෙන සතුන් සහ ඒ සඳහා යොදා ගත් ගිනි අවි ඇතුළත් ඡායාරූප සමාජ ජාල තුළ විශාල වශයෙන් හුවමාරු විය

වන විනාශය හෝ වන සතුන් දඩයම් කිරීම සම්බන්ධයෙන් කරුණු අඩංගු එවැනි ඡායාරූපයක් සමාජ ජාල ඔස්සේ හුවමාරු (Share) කර ගැනීමට ප්‍රථම එහි ඇති විශ්වසනීයත්වය තහවුරු කර ගැනීම සඳහා අදාළ බලධාරීන්ගෙන් විමසීමක් කරන ලෙස ජාතික වනජීවී අපරාධ වැළැක්වීමේ ඒකකය ෆේස්බුක් ගිණුම් හිමියන්ගෙන් ඉල්ලීමක් කරයි.

"මේ වගේ දේවල්වලින් වෙන්නේ 'කොටියා ආවා කොටියා ආවා' කියලා වගේ අවසානයේ මෙවැනි දේවල් ගණන් ගන්නේ නැති තත්ත්වයකට පත් වෙනවා" යනුවෙන් ජාතික වනජීවී අපරාධ වැළැක්වීමේ ඒකකයේ නිලධාරි ඉරෝෂ් පෙරේරා කියා සිටියේය.

"අපේ සමාජ ජාල භාවිත කරන සියලු තරුණ තරුණියන්ගෙන් සහ ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයගෙන් ඉල්ලා සිටින්නේ පළමුව නිල තොරතුරු සඳහා යොමු වෙන්න.

ඔහු පවසන පරිදි එවැනි පුවතක විශ්වසනීයත්වය විමසීමට හෝ ඒ සම්බන්ධයෙන් තොරතුරක් ලබා දීමට ඇති ආයතන

  • වනජීවී දෙපාර්තමේන්තුව (දුරකතන අංකය 1992)
  • වනජීවී අමාත්‍යංශය වෙනුවෙන් කටයුතු කරන ජාතික වනජීවී අපරාධ වැළැක්වීමේ ඒකකය
  • වනජීවී අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
ව්‍යාජ පුවත්: 'Share කරන්න කලින් සිතන්න'

විල්පත්තුව සහ එහි සිදු වෙමින් පවතින බව පැවසෙන වන විනාශය මෑත කාලයේ මතභේදයට තුඩු දුන් මාතෘකාවකි.

කොතෙක් ද යත් විල්පත්තුව සම්බන්ධයෙන් ගීත නිර්මාණ පවා බිහි වීමට එම තත්ත්වය බලපෑවේය.

ඒ හා සම්බන්ධ ඡායාරූප සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් හුවමාරුවන අතර එම වන විනාශයට අමාත්‍ය රිෂාද් බදියුදීන් වගකිවයුතු බවට චෝදනා එල්ල වේ.

විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ එවැනි වන විනාශයක් සිදුවන බවට එල්ල කෙරෙන චෝදනා අමාත්‍ය රිෂාද් බදියුදීන් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි.

කොටි මිනිස් ගැටුම

Image copyright Facebook/ National Wildlife Crime Prevention Unit

මිනිස් ක්‍රියාකාරකම් හමුවේ මරණයට පත්වන අලි ඇතුන් පිළිබඳ වාර්තා වීම මේ වනවිට ශ්‍රී ලංකාව තුළ සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබේ.

අලි මිනිස් ගැටුමට අමතරව ශ්‍රී ලංකාවේ වන සතුන් විශේෂයක් සහ මිනිසුන් අතර හට ගෙන ඇති තවත් ගැටුමකි කොටි මිනිස් ගැටුම.

මිනිස් ක්‍රියාකාරකම් සහ මිනිසුන් විසින් වනාන්තර ආක්‍රමණය කරනු ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ කොටින් මරණයට පත් වීම වාර්තාගත මට්ටමකට ළඟා වී ඇති බවට සමස්ත ලංකා වනජීවී නියාමකවරුන්ගේ සංගමය මීට ඉහත අනතුරු අඟවා තිබිණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්