අන්තර්ජාල data බද්ද ඉවත් කෙරේ

  • 2017 අගෝස්තු 17
අන්තරජාල භාවිතය Image copyright Reuters

ලබන සැප්තැම්බර් පළමු වෙනි දින සිට අන්තර්ජාල භාවිතය වෙනුවෙන් අයකරනු ලබන 10% විදුලි සංදේශ බදු මුදල සම්පූර්ණයෙන්ම ඉවත්කරන බව ආණ්ඩුව පවසයි.

එමෙන්ම කුඩා ප්‍රමාණයේ ලොරි, ට්‍රක් රථ සහ යතුරු පැදි වෙනුවෙන් අයකරනු ලබන බදු මුදල් බ්‍රහස්පතින්දා (අගෝස්තු 17) මධ්‍යම රාත්‍රියේ සිට විශාල වශයෙන් අඩු කරන බවත් මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර නිවේදනය කළේය.

නව ව්‍යවසාය ආරම්භ කිරීමේදී නවීන ලෝකයේ අත්‍යවශ්‍යම අංගයන් වන අන්තර්ජාල පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් විෂයයෙහි ඔවුන්ට "ශක්තියක් ලබා දීමේ අරමුණින්" මෙම බදු මුදල් අඩු කරන බව ද කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

'අඩු මුදලකට වැඩි දත්ත'

අන්තර්ජාල භාවිතය වෙනුවෙන් අයකෙරුණු බද්ද 25% දක්වා වැඩි කිරීමට පසුගිය වසරේ අය වැය මගින් යෝජනා කර තිබුණු බව පෙන්වාදුන් අමාත්‍ය මංගල සමරවීර, කෙසේ නමුත් එම අය වැය යෝජනාව ක්‍රියාත්මක නොකිරීමටත් දැනට අයකරනු ලබන 10% අහෝසි කිරීමටත් ආණ්ඩුව තීරණය කළ බව සඳහන් කළේය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
අන්තර්ජාල බදු: '30% කින් භාවිතය පුළුල් කිරීමට බාධාවක්'

"ඒ තුලින් ඇත්ත වශයෙන්ම අන්තර්ජාල භාවිත කරන අයට 25% ක පමණ බදු සහනයක් ලැබෙනවා," ඔහු පැවසීය.

ආණ්ඩුව එම බද්ද අඩුකිරීමත් සමගම අන්තර්ජාල භාවිත කරන්නන් සඳහා අන්තර්ජාල දත්ත (data) තවත් 10% ක් ලබාදීමට සැපයුම් සමාගම් එකඟ වූ බව පවසන අමාත්‍යවරයා පවසන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙන් අන්තර්ජාල භාවිත කරන්නන්ට අඩු මුදලකට වැඩි දත්ත ප්‍රමාණයක් භාවිතා කිරීමේ අවස්තාව හිමිවන බවය.

ප්‍රවාහන බදු

එමෙන්ම ප්‍රවාහන ක්ෂේත්‍රයේ බදු සහන පිළිබඳව විස්තර කළ අමාත්‍යවරයා, කුඩා ලොරි සහ සිංගල් කැබ් රථවලට දැනට අය කරන රුපියල් ලක්ෂ දහයක නිෂ්පාදන බදු මුදල වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් ලක්ෂ හත දක්වා අඩුකිරීමේ ගැසට් නිවේදනයට තමන් අත්සන් තැබූ බව සඳහන් කළේය.

එන්ජින් ධාරිතාව 150 cc දක්වා වූ යතුරු පැදි සඳහා දැනට අයකරනු ලබන වටිනාකමෙන් 90%ක බද්ද ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කරනු ලැබ තිබේ.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
අන්තර්ජාල බදු වැඩි කළේ ඇයි ?

එහි ප්‍රතිඵලයක් ලෙසින් එම වර්ගයේ උසස් ගණයේ යතුරු පැදිවල මිල රුපියල් 50,000 සිට ලක්ෂය දක්වා වූ මුදලකින් පහළ වැටෙනු ඇතැයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය අගෝස්තු 01 වෙනි දින පැවති ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක කමිටුවේ සාකච්ඡාවෙන් අනතුරුව ද ආනයනික සහල්, මාළු, බඩ ඉරිඟු සහ පිටි ඇතුළු භාණ්ඩ ගණනාවක් වෙනුවෙන් අයකෙරෙන බදු මුදල් අඩු කිරීමට ආණ්ඩුව තීරණය කළේය.

සබැඳි විෂයයන්