හමුදාව හැර ගිය 777 දෙනෙක් අත්අඩංගුවේ

  • 2017 අගෝස්තු 20
ශ්‍රී ලංකා හමුදාව Image copyright AFP

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද්ධ හමුදා සාමාජිකයින් 777 දෙනෙකු දිවයින පුරා සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

යුද්ධ හමුදා පොලිසිය, ශ්‍රී ලංකා පොලිසිය හා එක්ව සිකුරාදා (අගෝස්තු 18) කළ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයින් අතර එක් යුද්ධ හමුදා නිලධාරියෙකු සහ සෙසු නිලයින්ට අයත් 776 දෙනෙකු සිටින බවත් ශ්‍රී ලංකා යුද හමුදාව ඉරිදා (අගෝස්තු 20) නිකුත්කළ නිවේදනයක සඳහන් වේ.

සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බව ද යුද හමුදා මූලස්ථානය පවසයි.

සබැඳි යොමු:

හමුදාව හැර ගිය සොල්දාදුවන්ට යළි භාරවීම පිණිස පසුගිය වර්ෂයේ දෙසැම්බර් පළමු වැනි දින පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව 2000 කට ආසන්න පිරිසක් එයට ප්‍රතිචාර දක්වා තිබුණි.

පොදු සමා කාලයේ පළමු දින දහය ඇතුලත හමුදා නිලධාරීන් දෙදෙනකු සහ සොල්දාදුවන් 1584 දෙනකු, ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනකු, ගුවන් හමුදා භටයන් 67 දෙනකු සහ නාවික හමුදා භටයන් 162 දෙදෙනකු නීත්‍යානුකූලව සේවය හැර යාම පිණිස ඉල්ලුම් කළ බව හමුදා ප්‍රකාශක හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න ඒ අවස්ථාවේ සඳහන් කළේය.

පොදු සමා කාලය අවසානයේ තවදුරටත් නීතිවිරෝධී ලෙසින් පලා ගොස් සිටින පිරිසට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ඔහු අවධාරණය කළේය.

ත්‍රිවිධ හමුදාව හැර ගොස් සිටින 25,000 ක පමණ සාමාජිකයන්ගෙන් 16,000 කට ආසන්න පිරිසක් නීත්‍යානුකූලව හමුදාවෙන් ඉවත් වී ඇති අතර අනෙක් 9000 කට ආසන්න පිරිස සම්බන්ධයෙන් නීතිමය පියවර ගනු ලබන බව හමුදා බලධාරීහු පසුගිය වසරේ මැද භාගයේ නිවේදනය කළහ.