ඇමති රාජිතට එරෙහිවත් විශ්වාස භංගයක්

  • 2017 අගෝස්තු 24
විශ්වාස භංග යෝජනාව කතානායකවරයා වෙත භාර දුන් අවස්ථාව
Image caption විශ්වාස භංග යෝජනාව කතානායකවරයා වෙත භාර දුන් අවස්ථාව

බරපතල දූෂණ, වංචා චෝදනා සහ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් 'පක්ෂග්‍රාහී වීම' ඇතුළු චෝදනා හේතුවෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසය භංග වී ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

ඇමතිවරයාට එරෙහි සිය චෝදනා ඇතුළත් විශ්වාස භංග යෝජනාවක් මින් මොහොතකට පෙර කතානායක කරු ජයසූරිය වෙත භාර දුන් බව ද ඒකාබද්ධ විපක්ෂය පවසයි.

චෝදනා දහයක් යටතේ අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාවට මන්ත්‍රීවරුන් 39 දෙනෙකු අත්සන් තබා තිබේ.

මෑතක් වන තුරුම සම්මුතිවාදී ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය පදවියක් හෙබැවූ ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීවරයා, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ ද යෝජනාවට අත්සන් තැබූවන් අතර වෙති.

Image copyright Twitter
Image caption විශ්වාස භංග යෝජනාවට අත්සන් තබන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුවවර්ධන මන්ත්‍රීවරයා ද එයට අත්සන් තබා ඇතත්, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ අත්සන එයට ඇතුළත් නොවේ.

අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහි චෝදනා:

  1. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබෙන චෝදනා සම්බන්ධ විභාගයට සහභාගි නොවීම
  2. එසේ මග හැරීම හේතුවෙන් එකී චෝදනාවලට ඔහු වැරදිකරු බවට සමාජයේ මතයක් ගොඩ නැගීම
  3. ශ්‍රී ලාංකික වෛද්‍ය අධ්‍යාපනය තුළ බරපතල අර්බුදයක් නිර්මාණය කිරීම
  4. නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගත් බව පවසමින් එය මහජන මුදලින් නඩත්තු කිරීම
  5. අභියාචනකරණයේ පවතින විභාගයකදී සයිටම් ආයතනයට පක්ෂග්‍රාහීව කරුණු දැක්වීම
  6. වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් ගැසට් කිරීම සිතා මතාම මග හැරීම
  7. ඩෙංගු වසංගතයට ක්ෂණික පිළියම් යෙදීමට අපොහොසත්වීම මගින් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය අවදානමකට ලක් කිරීම
  8. පිළිකා රෝගය සඳහා සිය හිතවතෙකුට අයත් සමාගමක් විසින් ගෙන්වන ලද, විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රතික්ෂේප කළ, ඖෂධයක් මිලදී ගැනීමට බලපෑම් කිරීම
  9. ධීවර අමාත්‍ය පදවිය දැරූ සමයේ මෝදර ධීවර වරාය ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව අඩු මිලකට පෞද්ගලික සමාගමකට ලබා දී මූල්‍ය පාඩුවක් සිදු කිරීම
  10. ධීවර අමාත්‍ය පදවිය දැරූ සමයේ චීන සමාගමකට මසුන් මැරීමේ බලපත්‍ර නිකුත් කිරීම සඳහා ලාභයෙන් කොටසක් ඉල්ලා සිටීම
Image caption අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව බරපතල දූෂණ, වංචා චෝදනා සහ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් 'පක්ෂග්‍රාහී වීම' ඇතුළු චෝදනා දහයක්

ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව පිළිබඳව විමසූ අවස්ථාවේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා බීබීසී සිංහල සේවයට කියා සිටියේ, එම යෝජනාව පහසුවෙන් පරාජය කිරීමට ආණ්ඩුවට හැකියාව තිබෙන බවය.

විජේදාස රාජපක්ෂ

එවකට අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය ධුරය දැරූ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට පසුගිය සතියේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කණ්ඩායමක් උත්සාහ දැරූහ.

හම්බන්තොට වරාය 99 අවුරුදු බද්දකට චීනයට බදු දෙමින් අත්සන් තැබූ ගිවිසුම ප්‍රසිද්ධියේ විවේචනය කරමින් කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම උල්ලංඝනය කිරීම ඔහුට එරෙහිව එල්ල වූ ප්‍රධානම චෝදනාවය.

මහින්ද රාජපක්ෂ පරිපාලනයේ ප්‍රධානීන්ට එරෙහිව පැවැත්වෙන දූෂණ, වංචා සම්බන්ධ විමර්ශනවලට ඇඟිලි ගැසීම සහ එම විමර්ශන ප්‍රමාද කිරීම ඔහුට එරෙහිව එල්ල වූ තවත් බරපතල චෝදනාවකි.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ද ඒ අවස්ථාවේ සිය කැබිනට් සගයා දැඩි විවේචනයට ලක් කළේය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
"ජාතික සම්පත් සියල්ල විකුණගෙන යන කැබිනට් මණ්ඩලයක් තුළ සිටීම තරම් ලැජ්ජා සහගත කාරණයක් නැහැ"

ඔහුට එරෙහිව එල්ල වූ චෝදනා පිළිබඳව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡා කිරීමෙන් අනතුරුව සිය ප්‍රකාශ වෙනස් කිරීම පිණිස පක්ෂය විසින් අමාත්‍යවරයාට කාලය ලබා දුන් නමුත් ඔහු තවදුරටත් ආණ්ඩුව සහ හම්බන්තොට ගිවිසුම ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කළේය.

ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ නිර්දේශය ප්‍රකාර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් බදාදා (අගෝස්තු 23) ඔහු අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය පදවියෙන් පහ කරනු ලැබිණ.

තමන් අමාත්‍ය පදවිය දරන තුරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදෙන බව ද එවකට අධිකරණ අමාත්‍යවරයා වූ විජේදාස රාජපක්ෂ ප්‍රසිද්ධියේ සඳහන් කොට තිබේ.

රවි කරුණානායක

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනාවට ලක් ව සිටින අර්ජුන් ඇලෝසියස්ට අයත් සමාගමක් විසින් කුලී නිවසක් සඳහා මුදල් ලබා දීම මුල් කර ගනිමින් එවකට විදේශ අමාත්‍යවරයා වූ රවි කරුණානායකට එරෙහිව ද ඒකාබද්ධ විපක්ෂය කතානායකවරයා වෙත විශ්වාස භංග යෝජනාවක් භාර දුන්නේය.

ඒ අතර ඔහු අමාත්‍ය පදවියෙන් ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මැති ඇමතිවරු ද අවධාරණය කළ නමුත් පදවියෙන් ඉල්ලා අස්වීම ආරම්භයේදී ඔහු ප්‍රතික්ෂේප කළේය.

Image caption දූෂණ චෝදනා හමුවේ විදේශ අමාත්‍ය පදවියෙන් ඉල්ලා අස්වීමට රවි කරුණානායක මන්ත්‍රීවරයාට සිදු විය

තමා මාස 9ක් පුරා පදිංචිව සිටියේ අර්ජුන් අලෝසියස්ගේ සමාගමකින් මුදල් ගෙවා ලබා ගත් නිවසක යැයි තමන් නොදැන සිටි බව බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් රවී කරුණානායක හිටපු ඇමතිවරයා පැවසීය.

කෙසේ නමුත් ආණ්ඩු පක්ෂය තුලින්ම සහ දූෂණ විරෝධී ක්‍රියාකාරීන්ගෙන් ද එල්ල වූ බලපෑම් හමුවේ පදවියෙන් ඉල්ලා අස්වීමට අවසානයේ ඔහුට සිදුවිය.

එයට පෙරාතුව පැවති කැබිනට් සංශෝධනයේදී රවි කරුණානායක මන්ත්‍රීවරයාට මුදල් අමාත්‍ය පදවිය අහිමි වූ නමුත් ඔහු විදේශ අමාත්‍ය පදවියට පත් වූ අවස්ථාවේ ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයිය විදේශ අමාත්‍යාංශය යටතට පත්කිරීම සමාජයේ දැඩි විවේචනයට ලක්විය.

මේ අතර දැනට දූෂණ, වංචා විමර්ශන පැවැත්වෙන ඇවන්ගාඩ් සමාගම ආරක්ෂා කරමින් පාර්ලිමේන්තු අදහස් දැක්වීම හේතුවෙන් තිලක් මාරපන මන්ත්‍රීවරයාට පසුගිය වසරේ නීතිය හා සාමය භාර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය.

කෙසේ නමුත් මේ වසරේ පැවති කැබිනට් සංශෝධනයේදී සංවර්ධන කටයුතු භාර අමාත්‍යවරයා වශයෙන් යළිත් වරක් දිවුරුම් දුන් තිලක් මාරපන මන්ත්‍රීවරයා, රවි කරුණානායක අමාත්‍යවරයා ඉල්ලා අස්වීමත් සමග විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් ද පත්කරන ලදි.