පළාත් පාලන මැතිවරණය කවදාද?

  • 2017 අගෝස්තු 26
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය

පළාත් පාලන මැතිවරණය දෙසැම්බර් 09 හෝ ඊට පෙර පැවැත්වීමට උපරිම උත්සාහයක් දරන බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පළාත් පාලන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සිකුරාදා (අගෝස්තු 25) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

එසේ සම්මත කර ගත් පනත් කෙටුම්පත සහතික කර තමන් වෙත ලැබීමෙන් පසු මැතිවරණය පැවැත්වීම සඳහා අවම වශයෙන් දින හැත්තෑ පහක්වත් අවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසීය.

නමුත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට පමණක් පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය තීන්දු කළ නොහැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

"පනත සහතික කර එන්නත් සැප්තැම්බර් පහ, හය වගේ දිනයක් යයි. එවිට ඡන්දය පැවැත්වෙන දිනය කොමිෂන් සභාව එක් වී තීරණය කරන තුරු නිශ්චිතවම කියන්න බැහැ. නමුත් මේ අවුරුද්දෙම තියන්න උපරිම උත්සාහය දරනවා"

ඒ සඳහා 2017 ඡන්ද හිමි නාම ලේඛනය භාවිත කිරීමට බලාපොරොත්තු වන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා සිටියේය.

යම් හෙයකින් පළාත් පාලන මැතිවරණය දෙසැම්බර් 09 හෝ ඊට පෙර පැවැත්වීමට නොහැකි වුවහොත් එය ලබන වසරේ ජනවාරි මුල් සති දෙක ඇතුළත සෙනසුරාදා දිනයක පැවැත්වීමට පියවර ගනු ලබන බව ඔහු පැවසීය.

තරුණ ප්‍රජාව වෙත ඉල්ලීමක්

Image copyright Getty Images

මේ අතර 2017 ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත් වී නොමැති පුද්ගලයන්ට සිය නම ඊට ඇතුළත් කිරීම සඳහා දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.

විශේෂයෙන් තරුණ ප්‍රජාව ඉලක්ක කර එවැනි වැඩසටහන් ක්‍රියාත්මක වන බව කී ඔහු මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට (www.elections.gov.lk) පැමිණ 2017 ඡන්ද හිමි නාම ලේඛනයට සිය නම ඇතුළත් වී ඇත්දැයි පරීක්ෂා කර ගන්නා ලෙස ඉල්ලා සිටී.

ඡන්ද හිමි නාම ලේඛනයට සිය නම ඇතුළත් වී නොමැති නම් සැප්තැම්බර් 06 වෙනිදාට පෙර ඒ බව දැන්විය යුතුය.

ඡන්ද හිමි නාම ලේඛනයට සිය නම ඇතුළත් වී නොමැති බව දැන්විය හැකි හැකි ක්‍රමවේද:

  • ග්‍රාම නිලධාරි
  • ග්‍රාම නිලධාරි කාර්යාලය
  • මැතිවරණ ලේකම් කාර්යාලය
  • මැතිවරණ කොමිෂන් සභාව (Election Commission of Sri Lanka නමින් ඇති නිල ෆේස්බුක් පිටුවට පණිවුඩයක් මාර්ගයෙන් ද දැන්විය හැක)

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්