කොරියානු භාෂා විභාගයට පෙනී සිටීමට නොහැකි වුනාද?

  • 2017 අගෝස්තු 26
Image copyright Getty Images

අයහපත් කාලගුණය හේතුවෙන් කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා පෙනී සිටීමට නොහැකි වූ අපේක්ෂකයන් සඳහා විකල්ප දිනයක් ලබා දීමට කොරියානු මානව සම්පත් අංශය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම පියවරට අනුව විභාගයට පෙනී සිටීමට නොහැකි වූ අපේක්ෂකයන්ට හිමි වන විකල්ප දිනයන් හා වේලාවන් www.slfbe.lk නමැති සිය වෙබ් අඩවියේ පළ කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

අයහපත් කාලගුණය හේතුවෙන් විභාගයට පෙනී සිටීමට නොහැකි වූ පුද්ගලයන්ගේ අයදුම්පත් මීට පෙර කැඳවා තිබූ බවත් එම අයදුම්කරුවන් වෙනුවෙන් පමණක් යළි විභාගය පැවැත්වෙන බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

2017 වසරට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය අප්‍රේල් 27 වෙනිදා ආරම්භ වූ අතර මෙවර විභාගය පරිගණක ආශ්‍රයෙන් පැවැත්වෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියා සිටී.

මෙවර විභාගය සඳහා සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන් 22,288 දෙනාගෙන් 16,431 දෙනෙකු නිෂ්පාදන අංශ සම්බන්ධයෙන් පැවැත්වෙන විභාගයට පෙනී සිටින බවත් 6,457 දෙනෙකු ධීවර අංශයේ විභාගය සඳහා පෙනී සිටින බවත් අදාළ නිවේදනයේ දැක්වේ.

කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්

Image copyright Getty Images

මේ අතර නීති විරෝධීව දකුණු කොරියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට එරටින් පිටවීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මීට ඉහතදී නිවේදනය කර තිබිණි.

එම කාර්යාංශය වැඩිදුරටත් පවසා තිබුණේ 2017 වසරේ ජුලි 10 වෙනිදා සිට ඔක්තෝබර් 10 වෙනිදා දක්වා මාස 03 ක පොදු සමා කාලයක් දකුණු කොරියානු රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති බවය.

එම පොදු සමා කාලය තුළ නැවත ශ්‍රී ලංකාව බලා පැමිණෙන ශ්‍රමිකයන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියා සිටියේය.

සබැඳි යොමු:

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර