ගවයන්ට පාර තහනම්!

  • 2017 අගෝස්තු 31
Image copyright Getty Images
Image caption "පසුගියදා අපට වාර්තා වුනේ මහමග ගැවසුණ ගවයෙක් මිය ගිය අවස්ථාවේ ඒ ගවයාගේ කුස තුළ තිබී පොලිතින් කිලෝ විස්සකට අධික ප්‍රමාණයක් හමු වී ඇති බවයි"

මංමාවත්වලට ගවයින් මුදා නොහරින ලෙස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය ගව හිමියන්ගෙන් ඉල්ලීමක් කරයි.

ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, මොරටුව, කෝට්ටේ, කඩුවෙල යන මහ නගරසභා සහ කොටිකාවත්ත - මුල්ලේරියාව හා කොලොන්නාව නගරසභා සහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට එම නීතිය බලපැවැත්වෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසයි.

එසේ මංමාවත්වලට මුදා හරින ගවයන් ඉවත් කිරීම සඳහා අදාළ ආයතනවල නිලධාරීන් සහ බලධාරීන් කටයුතු කරනු ඇති බවත් එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඉහත කී බලප‍්‍රදේශයන්හි ගවගාල් පවත්වාගෙන යනු ලබන්නේ නම් අදාළ මහ නගරසභාවෙන්, නගර සභාවෙන් හෝ ප්‍රාදේශීය සභාවෙන් සුදුසු බලපත්‍රයක් ලබාගෙන සුදුසු ස්ථානයක එම කටයුතු සිදු කළ යුතු බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.

මාර්ග අනතුරු

"පසුගියදා අපට වාර්තා වුනේ මහමග ගැවසුණ ගවයෙක් මිය ගිය අවස්ථාවේ ඒ ගවයාගේ කුස තුළ තිබී පොලිතින් කිලෝ විස්සකට අධික ප්‍රමාණයක් හමු වී ඇති බවයි" යනුවෙන් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක කියා සිටියේය.

එබැවින් මහා මාර්ගවලට ගවයින් මුදාහැරීමට තවදුරටත් ඉඩ ලබාදිය නොහැකි බවත් එමගින් මාර්ග අනතුරු සහ තදබදයන් මෙන්ම වීථි අවලස්සන වීමට ද බලපාන බව ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සබැඳි යොමු:

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර