"ශ්‍රී ලංකා යුද නායකයන්ගේ නම් විදේශ තානාපති ලැයිස්තුවල"

  • 2017 අගෝස්තු 31
Image copyright Getty Images
Image caption යුද සමයේ තමාට පැවරුණේ 'සැපයුම් අංශය' බව හිටපු හමුදාපතිවරයා පවසයි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ අණ දෙන නිලධාරීන්ගේ නම් ගම් විවිධ තානාපති කාර්යාලයන්හි ලැයිස්තුගත කරනු ලැබ ඇති අතර ඔවුන්ට එම රටවල සංචාර සඳහා වීසා ලබාගැනීමේදී දුෂ්කරතා මතුවී ඇති බව ජනරාල් ජගත් ජයසූරිය පවසයි.

බ්‍රසීලයේ තානාපති පදවිහි සිය දෑවුරුදු නිල කාලය අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජනරාල් ජයසූරිය එම ප්‍රකාශය කළේ, යුද අපරාධ චෝදනා යටතේ බ්‍රසීලයේ අධිකරණයක ඔහුට එරෙහිව නඩු පවරනු ලැබීම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය විසින් කරන ලද විමසීමකදීය.

"අපේ නම්ගම් පුවත්පත්වල පළ වෙනවා. බොහෝ තානාපති කාර්යාල වල යුද අණදෙන නිලධාරීන්ගේ නම් ලැයිස්තුගත කරලා තියෙනවා. ඒ නිලධාරීන් පිටරටකට වීසා ලබා ගන්න ගියාම කියනවා ඔවුන් නීතිය කඩ කරපු බවක්. උදාහරණයක් හැටියට මගේ පෞද්ගලික උවමනාවකට ඇමෙරිකාවට යන්න වීසා ඉල්ලුවත් මට වීසා දුන්නේ නැහැ. ඒක නිල ප්‍රතික්ෂේප කිරීමක් නොවෙයි. නමුත් ඔවුන් වීසා නොදීමට හේතු පැහැදිලි කරන්නේ නැහැ. මම දන්නවා ඒ ගොල්ලන් ළඟ අපේ නම් ගම් තොරතුරු තියෙන බව. ආණ්ඩුව මේ ප්‍රශ්නය විසඳන්න ඕන" ජනරාල් ජයසූරිය කියා සිටී.

බීබීසී කොළඹ වාර්තාකරු දුරකතනය මගින් කරන ලද එම සාකච්ඡාවේ දී වැඩිදුරටත් කරුණු දැක්වූ ජනරාල් ජගත් ජයසූරිය "යුද්ධයේ දී තමාට ඉදිරි පෙළේ මෙහෙයුම් කාර්යභාරයක් නොපැවරුණ" බව සඳහන් කළේය.

කොටි සංවිධානයට එරෙහිව ගෙන ගිය සටනට අණදෙන ලද්දේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වන අතර එම මෙහෙයුම් සඳහා සියලු අණදීම් කරන ලද්දේ තමා බව ෆීල්ඩ් මාර්ෂල්වරයා විසින් ඍජු ලෙසම භාර ගනු ලැබ ඇති බව ජනරාල් ජගත් ජයසූරිය පවසයි.

"අපි කවුරුත් දන්නවා-යුද මෙහෙයුමට අණ දුන්නේ එවක හමුදාපති පදවියේ සිටි, දැන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා බව. එතුමා කෙළින්ම කියල තියෙනවා- යුද මෙහෙයුම් වලට අණ දුන්නේ තමා බව. මට පැවරුණේ යුද හමුදාවට අවශ්‍ය සැපයුම්වලට (logistical support) අදාළ කාර්යයි. මම එහි නිරත වෙමින් සිටියා " ජනරාල් ජයසූරිය පවසයි.

බ්‍රසීලයේ සහ කොලොම්බියාහි පවරා ඇති නඩුකර පිළිබඳව බීබීසි විමසීමක් කළ විට ඊට පිළිතුරු දුන් ජනරාල් ජයසූරිය, වධ හිංසා සිදු කිරීම් පිළිබඳව තමාට එරෙහිව නැගෙන චෝදනා පිළිබඳව අන්තර්ජාල වෙබ් අඩවි මගින් කියවන්නට ලැබුණ බව සඳහන් කළේය.

'පදනමක් නැහැ'

Image caption ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය (ITJP) නම් සංවිධානය නිකුත් කළ නිවේදනය

"වධහිංසා සිදු කිරීම් ගැන ඔවුන් කියනවා. කෑ ගැසීම් ඇසුණ බවක් දැක්වෙනවා. මට හිතා ගන්න බැහැ, සැතපුම් ගණනක් ඈතට ඇසෙන්න කාට හරි කෑ ගහන්න පුළුවන් කියල. මොකද? ඒක විශාල යුද හමුදා සංකීර්ණයක් " ඔහු පවසයි.

භූමියේ භටපිරිස්වලට තමා අණදීමේ නොයෙදුණු හෙයින් තමාට එරෙහිව නගන චෝදනාවල පදනමක් නොමැති බව ද ජනරාල්වරයා කියා සිටී.

තමාට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනා පිළිබඳව සඳහන් කළ ජනරාල් ජයසූරිය ඔහු එකී චෝදනා දැන ගත්තේ අගෝස්තු 29 වෙනිදා ශ්‍රී ලංකාවට ළඟා වීමෙන් පසුව බවත් සඳහන් කළේය.

"බ්‍රසීලයේ තානාපති හැටියට මගේ නිල කාලය අවුරුදු දෙකකට සීමා වුනා. මම බ්‍රසීල තානාපති හැටියට වැඩ භාර ගත්තේ 2015 අගෝස්තු මාසයේ පස් වෙනිදා. එම නිලකාලය අවසන් වෙනවාත් සමඟ මම එම පදවිය යළිත් දීර්ඝ නොකරමින් ආපසු පැමිණීමට ඇති මගේ අභිලාශය විදේශ අමාත්‍යංශයට දැනුම් දුන්නා. මොකද? බ්‍රසීලය වැඩ කිරීමට දුෂ්කර රටක්. මගේ අභිලාෂය වී තිබුණේ ආසියානු රටකට මාව යැවීම " ජනරාල් ජයසූරිය පවසයි.

අගෝස්තු 31 දිනට පෙර ආපසු ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස විදේශ අමාත්‍යාංශය තමාට දැනුම් දුන් බව ද හිටපු තානාපතිවරයා බීබීසි සිංහල සේවයට සඳහන් කළේය.

"අගෝස්තු 27 වෙනිදා ලංකාවට ඒමට මම ගුවන් පහසුකම් යොදා ගත්තා. අගෝස්තු 07 වෙනිදා මගේ අමතර බඩු භාණ්ඩ කන්ටේනර් මගින් නැව්ගත කළා. අගෝස්තු 18 වෙනිදා මගේ නිල නිවසත් මම ආපසු භාර දුන්නා. මේ ඔක්කෝම කළින් සැලසුම් කළ දේවල්. බ්‍රසීල විදේශ අමාත්‍යංශය අගෝස්තු 24 වෙනිදා මා වෙනුවෙන් සමුගැනීමේ දිවා භෝජන සංග්‍රහයකුත් පැවැත්වූවා. අගෝස්තු 27 මම ශ්‍රී ලංකාව බලා පිටත් වුනා" තමා බ්‍රසීලයෙන් පළා නොගිය බව පෙන්වාදීම සඳහා හිටපු තානාපතිවරයා සිය පූර්ව සැලසුම් විස්තර කරමින් කියා සිටියේය.

'පොදු චෝදනා'

Image copyright AFP

ජනරාල් ජයසූරිය තමාට එරෙහි චෝදනා විග්‍රහ කරන්නේ ඕනෑම යුද්ධයක දී ඉදිරිපත් වෙන 'පොදු චෝදනා' ලෙසය.

"මේ වගේ දේවල් ඕනෑම යුද්ධයක දී සිද්ධ වෙන්න පුළුවන්. ඒත් මට විරුද්ධව යම්කිසි සුවිශේෂී චෝදනාවක් තියනවා නම් ඒ ගැන දැන ගන්න මම කැමතියි. මම දැක්කා - යැස්මින් සූකා වන්නි කඳවුර ගැන සඳහන් කරලා තියෙනවා. ඒත් යැස්මින් ශ්‍රී ලංකාවට ඇවිත් නැහැ. වන්නි කඳවුර දැකලත් නැහැ. වන්නි කඳවුර යුද හමුදා සංකීර්ණයක්. මම ස්ථානගතව හිටියේ එයින් එක කඳවුරක" ජනරාල් ජයසූරිය පවසයි.

මෙවැනි කිසිදු ආකාරයක යුද අධිකරණයක් පිහිටුවන්නේ නැති බව ශ්‍රී ලංකා ආණ්ඩුව ප්‍රකාශ කර ඇතැයි පවසන ජනරාල්වරයා, යම් කිසිවෙකු සුවිශේෂී කරුණුවලට අදාළව නීතිය උල්ලංඝනය කරනු ලැබ ඇත්නම් පමණක් ඒ සම්බන්ධයෙන් නෛතික පියවර ගන්නා බව ආණ්ඩුව කියා ඇතැයි පෙන්වා දෙයි.

"ඒත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාව මෙවැනි චෝදනාවලින් මුදා හැරල කියල අපට තවමත් කිසිදු සහතික කිරීමක් ලැබිලා නැහැ" ජනරාල් ජයසූරිය පවසයි.

යුද හමුදාව වරදක් කර නොමැති බව ඔබ කියා සිටින්නේ නම් චෝදනාවන්ට ලක්වූවන්ගේ නම් පිරිසිදු කෙරෙන ජාත්‍යන්තර විභාගයක් ප්‍රතික්ෂේප කරන්නේ කුමක් නිසාදැයි බීබීසි විමසූ විට 'එම තීරණය ඉහළ මට්ටමින් ගත යුත්තක් වන බව ජනරාල් ජයසූරිය සඳහන් කළේය.

"එවැනි විභාගයකට මුහුණ දීම ප්‍රශ්නයක් නොවෙයි. සාක්ෂි දෙන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔවුන්ට ඒක කරන්න පුළුවන්. යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුව තියෙනවා. අන්තිම වශයෙන් මේ සියල්ල අවසානයකට ගෙනෙන ලිඛිත ලියවිල්ලක් තියෙන්න ඕන" ජනරාල්වරයා පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර