කාන්තාවන් තිස්හත් දහසක් මැදපෙරදිග ගෘහසේවයට

  • 2017 සැප්තැම්බර් 25
Image copyright SLBFE
Image caption මැදපෙරදිග ගිය කතුන් පිරිසක් යළිත් ශ්‍රී ලංකාවට

2017 වසරේ පළමු මාස අට ඇතුළත ශ්‍රී ලාංකික කාන්තාවන් 37002 ක් ගෘහ සේවිකාවන් ලෙස විදේශගතව ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් නිකුත් කරන ලද අලුත් සංඛ්‍යාලේඛන මගින් පැවසෙයි.

2015 වසරේ ගෘහ සේවය සඳහා කාන්තාවන් 73,226 ක් විදේශගතව ඇති අතර 2016 වසරේ එය 65,023ක් දක්වා අඩු වී තිබුණි.

2017 වසර තුළ එය තවත් අඩු වනු ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය බලාපොරොත්තු වෙන බවත් එම නිවේදනයේ දැක්වෙයි.

කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශගත වීම අඩු කරමින් ඔවුන් වැඩි ආදායම් සහිත රැකියා සඳහා යැවීම තම අරමුණ බව විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල ප්‍රකාශ කරයි.

පුහුණු ශ්‍රමිකයන් විදේශගත කිරීමෙන් ශ්‍රී ලංකාවට වැඩි විදේශ විනිමයක් ද එම කාන්තාවන්ට වැඩි ආදායමක් ද උපයා ගැනීමට අවස්ථාව උදා කෙරෙන බව ඇමතිවරිය පෙන්වා දෙයි.

ගෘහ සේවිකා නොවන වෙනත් රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයන් ලෙස විදේශගත වූ කාන්තාවන්ගේ සංඛ්‍යාව 2015 වසරේ 17,429 ක් ලෙසත් 2016 වසරේ 17,495 ක් ලෙසත් වාර්තා කොට ඇත.

ඉදිරිපත්ව ඇති සංඛ්‍යා ලේඛන අනුව 2017 වසර තුළත් එහි විශාල වැඩි වීමක් පෙන්නුම් නොකෙරෙයි.

Image copyright SLBFE
Image caption ගුවන් තොටුපොළේ දී

මේ වසරේ මුල් මාස අට ඇතුළත වෙනත් රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයන් ලෙස විදේශගතව ඇති කාන්තාවන්ගේ සංඛ්‍යාව 11.372 කි.

2017 වසරේ පළමු මාස ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 141,725 ක් විදේශගතව ඇති අතර ඔවුන්ගෙන් 48,374 කාන්තාවන් වන අතර , පුරුෂයන්ගේ සංඛ්‍යාව 93,351 ක් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් නිකුත් කරන ලද අලුත් සංඛ්‍යාලේඛනවල දැක්වෙයි.

වැඩි දෙනෙක් කටාරයට

2016 වසරේ රැකියා සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව 242,838 කි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය වාර්තා කරන ආකාරයට මේ වසරේ ශ්‍රී ලංකික ශ්‍රමිකයන් වැඩි දෙනෙක් රැකියා සඳහා ගොස් ඇත්තේ කටාර් දේශයටයි.

2016 වසරේ ශ්‍රී ලාංකිකයන් වැඩි දෙනෙක් රැකියා සඳහා ගොස් තිබුණේ සවුදි ආරබියටයි.

Image copyright SLBFE
Image caption හිරිහැර ආදියට ගොදුරු වීම නිසා රජය විසින් ආපසු ගෙන්වා ගත් ගෘහසේවිකාවන් කණ්ඩායමක්

පළාත් අනුව බලන විට 2016 වසරේ දී රැකියා සඳහා විදේශගත වූවන් වැඩිම පිරිස බස්නාහිර පළාතෙන් වාර්තා වෙන අතර එහි අඩුම සංඛ්‍යාව වාර්තා වන්නේ ඌව පළාතෙනි.

එම වසරේ බස්නාහිර පළාතෙන් රැකියා සඳහා විදේශගත වූවන්ගේ සංඛ්‍යාව 64901කි. ඌව පළාතේ එම සංඛ්‍යාව 7305 ක් විය.

එහෙත් මෙම සංඛ්‍යා ලේඛන අදාළ වන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශගත වූවන් සම්බන්ධයෙන් පමණි.

ඇතැම් ශ්‍රමිකයන් සංචාරක වීසා මගින් විදේශගතව රැකියාවල නියැලෙන අතර ඔවුන් මෙම සංඛ්‍යාලේඛනයට ඇතුළත් නොවේ.

එවැනි පුද්ගලයන් ද සැලකිල්ලට ගනු ලබන විටක මෙම සංඛ්‍යා තවත් ඉහළ යනු ඇත.

සමස්තයක් ලෙස ගත් විට ලක්ෂ දාහතකට ආසන්න ශ්‍රී ලාංකිකයන් විදේශ රැකියාවන්හි නිරත වෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශ්වාසයයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර