මරු පරදා ජීවිතය ජයගත් දිරිය මවක්

  • 2017 ඔක්තෝබර් 13

කුඩා මොළයේ හටගත් පිළිකාවක් පරදවා සුවය ලැබීමෙන් අනතුරුව ඉවත දමන අපද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් තම ජීවිතය ජයගත් කාන්තාවක් පිළිබඳව කුණ්ඩසාලේ වරාපිටිය ගම්මානයෙන් වාර්තා වෙයි.

ඇය නමින් ජූඩි හේවගේ වන්නීය.

පිළිකා වේදනාවෙන් පෙළුණ එක් දරු මවක් වන ජූඩි හේවගේ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන ලද පරිදි මොළයේ සැත්කමක් සිදුකර ගැනීම වෙනුවට ඊට පිටු පා යමින් 'මරණය තෝරා ගැනීමට' මුලදී තීන්දු කර ඇතත් 2014 වසරේ මහරගම පිළිකා රෝහලේ දී සිදු කරන ලද සැත්කම් දෙකකින් අනතුරුව යළිත් පෙර පැවති යහපත් සෞඛ්‍යය තත්ත්වය කරා පැමිණීමට ඇය සමත්ව ඇත.

"පිළිකා රෝගය සඳහා කරන විකිරණ ප්‍රතිකාරවලට භාජනය කරන ලද නිසා එම විකිරණ බලපෑම මගේ දුවටත් ඇති වේවි කියල මම දුව බලන්න ගියෙත් නැහැ. ශල්‍යකර්මයෙන් පස්සේ තවත් මාස හතක් විතර මහනුවර පිළිකා නිවාසයේ ගත කළා. ඒ කාලය තුළ මම මගේ දුව දැක්කේ ඈතින් පමණයි " යනුවෙන් ජූඩි හේවගේ පැවසුවාය.

2016 වසරේ රෝහලෙන් පිටව සතුටින් නිවසට ගියත් ජුලීට තවත් සුවිශාල ගැටලුවකට මුහුණ දීමට සිදු විය. ඒ ජීවත් වීමේ ගැටලුවයි.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
"මම ජීවත් වෙනවා කිව්වේ දවස් පහයි"

"මම ඉස්පිරිතාලෙන් ගෙදර එනකොට හරිහැටි ඇවිදින්න බැහැ. හැරමිටියක උදව්වෙනුයි ඇවිද්දේ. කතා කරන්න අමාරුයි. ඇස් පේන්නේ නැහැ. අසල්වැසියන්ගෙන් උදව් ලැබුනත් හැමදාමත් ඔවුන්ට බරක් වෙන්න මම කැමති වුණේ නැහැ"

ඒ ජූඩි හේවගේ ඇතිකර ගත් අධිෂ්ඨානයයි.

ඒ සමග ඇයගේ අවධානය යොමු වූයේ නිවෙස් වලින් ඉවත දමන අපද්‍රව්‍ය වෙතය.

ව්‍යාපාරයක් පටන් ගැනීමට ප්‍රාග්ධනය නොමැති තත්ත්වයක් තුළ අපද්‍රව්‍ය කෙරෙහි යොමු වීම රටේ කුණුකසල ගැටලුවට එක්තරා විසඳුමක් මෙන්ම, සෙසු ජනයාගේ ජීවිතවලට එමගින් යහපතක් ද උදා කරනු ඇතැයි තමා අදහස් කළ බව ජූඩි හේවගේ පවසන්නීය.

අනතුරුව ඇය සිදු කළේ තම හිතවතුන්ගේ නිවෙස්වලින් ඉවත දමන ඝන කසල ද්‍රව්‍ය වන ප්ලාස්ටික් බෝතල් සහ පොලිතින් ආදිය සිය නිවසට ගෙන්වා ගෙන ඒවා උපයෝගී කර ගනිමින් නව නිර්මාණ සැකසීමයි.

Image caption වෙළෙඳාම ඉහළ යාමත් සමඟ කෙමෙන් අතමිට සරු වන්නට විය
Image caption ඉවතලන ඝන අපද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් කළ නිර්මාණ

අසල්වැසි මහළු තැනැත්තකුගේ උදව් ඇතිව එම නිර්මාණ උත්සව පැවැත්වෙන ස්ථානවලට ගෙන ගොස් විකිණීම ඇයගේ ඊළඟ පියවර විය.

වෙළෙඳාම ඉහළ යාමත් සමඟ කෙමෙන් අතමිට සරු වන්නට විය.

ජූලී හේවගේ ඒ සමඟ තවත් ඉදිරි පියවරක් තබමින් මහනුවර මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ නිලධාරීන් හමුවට ගොස් තම ජීවිකා වෘත්තීය පැහැදිළි කළාය.

කෙටි කලකින් මහනුවර මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය ජූලී හේවගේ අතින් නිමැවෙන විසිතුරු නිර්මාණ බවට පත් වන්නන්ට විය.

අලුත් නිර්මාණ සඳහා සිය ශ්‍රමය පමණක් ප්‍රමාණවත් නොවන බව තේරුම් ගත් ජූලී හේවගේ ඊළඟට ගත් පියවර තම හිතවතියන්ටත් තම දැනුම ලබා දෙමින් තවතවත් දැකුම්කළු නිර්මාණ බිහි කිරීමයි.

සබැඳි යොමු:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්