ශ්‍රී ලංකාවේ පාසල් ළමුන්ගෙන් "තුනෙන් එකකට උදය ආහාරය නැහැ"

  • 2017 නොවැම්බර් 5
Image copyright Getty Images

ගැබ්ගෙන ඇති බවට චෝදනා කරමින් කැකිරාව ප්‍රදේශයේ දැරියක් ඇය ඉගෙනුම ලැබූ පාසලෙන් ඉවත් කළ පුවතක් පසුගිය දිනවල සමාජ ජාල තුළ විශාල වශයෙන් හුවමාරු විය.

කුසගින්න හේතුවෙන් දැරිය වමනය කර ඇති බව ඇය වෛද්‍ය පර්යේෂණයක් සඳහා ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු අනාවරණය විය.

පාසල වෙත යාමට පෙර දරුවන් උදය ආහාරය ලබා ගන්නේද නැද්ද යන්න කෙරෙහි ආර්ථික, සමාජීය මෙන්ම ඇතැම්විට ආගමික හා සංස්කෘතික කරුණු ද බලපා හැක.

ආර්ථික අගහිඟකම් මැද ඇතැම් දරුවන් උදය ආහාරය නොමැතිව පාසල් වෙත පැමිණෙන අතර මව්පියන් දෙදෙනාම රැකියාවල නිරත වීම හේතුවෙන් ඇති වන කාර්යබහුලත්වය හමුවේ ඇතැම් දරුවන්ට උදය ආහාරය මග හැරේ.

අධ්‍යාපන අමාත්‍යංශය 2016 වසරේ නිකුත් කළ වාර්තාවකට අනුව ශ්‍රී ලංකාව පුරා විසිර ඇති පාසල් 10,162 ක ඉගෙනුම ලබන දරුදැරියන් සංඛ්‍යාව 4,143,330 (හතළිස් එක්ලක්ෂ හතළිස් තුන්දහස් තුන්සිය තිහක්) කි.

එම දරුවන්ගෙන් තුනෙන් එකක් එනම් දාහතර ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් උදය ආහාරය නොගන්නා බව පර්යේෂණවල දී අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය පෙන්වා දෙයි.

එම ආයතනයේ පෝෂණ අංශ ප්‍රධානී මෙන්ම ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමයේ සභාපතිනිය ද වන විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස බීබීසී සිංහල සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ උදය ආහාරය නොගැනීම දරුවන්ගේ මොළය වර්ධනයට මෙන්ම ශරීර වර්ධනයට ද බලපාන බවය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
ශ්‍රී ලංකාවේ පාසල් ළමුන්ගෙන් "1/3 උදය ආහාරය නැහැ"

විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පවසන පරිදි උදය ආහාරය නොගන්නා දරුවන් තුළ දැකිය හැකි ලක්ෂණ

  • ගණිත හැකියාව සහ මතකය අඩු වීම
  • ප්‍රශ්න විසඳීමේ හැකියාව අඩු වීම
  • තරග විභාගවලින් අඩු ලකුණු ලැබීම
  • දරුවන්ගේ උස අඩු වීම

ඇය පවසන පරිදි උදය ආහාරය නොගෙන පාසල් යන දරුවන් වැඩි වශයෙන්ම හමු වී ඇත්තේ බස්නාහිර සහ දකුණ යන පළාත්වලිනි.

Image caption විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස

දරුවන්ට උදය ආහාරය වශයෙන් කිරි වීදුරුවක් ලබා දීමට බොහොමයක් දෙමව්පියන් හුරු වී ඇති බව කී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව පෙන්වා දෙන්නීය.

"කිරි වීදුරුවට වැඩිය වැදගත් වෙන්නේ දරුවට උදය ආහාරය ලබා දීම. විශේෂයෙන් පාසල් යන කාලය තුළයි දරුවන්ගේ වර්ධන වේගය ඉතාමත් සීග්‍ර" යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

"උදය ආහාරය කියන්නේ අඩුම තරමේ ආහාර ඛාණ්ඩ තුනක්වත් එකතු විය යුතුයි. එය ප්‍රධාන ආහාර වේලක්. ප්‍රධාන ආහාර වේලක් වීමට නම් ධාන්‍යමය ආහාර, එළවලු සහ පලතුරු, මත්ස්‍ය මාංශ ඒ වගේ ආහාර ඛාණ්ඩ තුනක්වත් එකතු විය යුතුයි"

"කිරි කියන්නේ එක ආහාර ඛාණ්ඩයක් විතරයි" යනුවෙන් කී විශේෂඥ වෛද්‍යවරිය අතුරු ආහාරයක් ලෙස දරුවන්ට කිරි ලබා දිය හැකි බව පෙන්වා දෙන්නීය.

ඉහත කී තත්ත්වය කෙරෙහි වැඩි වශයෙන් බලපා ඇත්තේ ඒ පිළිබඳ දෙමව්පියන් දැනුවත් නොවීම බවත් විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස වැඩිදුරටත් සඳහන් කළාය.

සබැඳි යොමු:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර