ශ්‍රීලනිප-ඒකාබද්ධ විපක්ෂ එකතුවක් ? : ඇත්ත මොකක්ද ?

  • 2017 නොවැම්බර් 14
Image copyright AFP

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය වෙන් වෙන්ව තරඟ කළහොත් එමගින් ලැබෙන ප්‍රතිඵලය දෙපාර්ශ්වයටම බලපාන අතර එවැනි තත්වයක් හමුවේ තරඟ කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා මගින් ඉදිරි දින කීපය තුළ අවසන් නියගමකට එළඹෙනු ඇතැයි විද්‍යා තාක්ෂණ සහ පර්යේෂණ කටයුතු භාර ඇමති සුසිල් ප්‍රේම් ජයන්ත් පවසයි.

"දැන් කණ්ඩායම් වලට බෙදී සිටින්නේ එකම පාර්ශ්වයක්. ඒ නිසා මේ කණ්ඩායම් එකට එකතු වෙලා තරඟ කළොත් තමයි සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්නට පුළුවන් වන්නේ," බීබීසී සිංහල සේවය සමඟ පැවැත්වුන සාකච්ඡාවක දී ඇමතිවරයා සඳහන් කළේය.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කණ්ඩායම ඒ අය හැටියටත්, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම ඒ අය හැටියටත් දැනට සාකච්ඡාවක නිරත වෙමින් සිටිනවා. මොකද? මේ ආකාරයේ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. ඒ අනුව කොයි ආකාරයට තරඟ කළ යුතුද කියන කාරණය ගැන සාකච්ඡා කෙරෙමින් පවතිනවා," සුසිල් ප්‍රේම් ජයන්ත් ඇමතිවරයා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය වෙන් වෙන්ව තරඟ කළොත් එය එම කණ්ඩායම් දෙක ලබන ප්‍රතිඵලය කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කරනු ඇතැයි සිතන්නේ දැයි බීබීසි විමසූ විට ඊට පිළිතුරු දුන් ඇමතිවරයා "ඉතිහාසය තුළ පෙන්නුම් කර ඇත්තේ එවැනි තත්වයක්" යයි සඳහන් කළේය.

Image caption වෙන්ව තරඟ කිරීමේ අතීත අමිහිරි අත්දැකීම් වලින් පාඩම් ඉගෙන ගත යුතු බව පවසන සුසිල් ප්‍රේම් ජයන්ත් ඇමතිවරයා

"යම්කිසි දේශපාලන කඳවුරක් බෙදිලා තරඟ කළ හැම අවස්ථාවකම ඔවුන්ට අත් වුණේ පරාජය. ඒ නිසා වෙන්ව තරඟ කළොත් මේ සැරේත් ඒකෙ වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි දැන් පාර්ශ්ව දෙකම එකට තරඟ කිරීම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නේ," සුසිල් ප්‍රේම් ජයන්ත් ඇමතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

පසුගිය ඉරිදා (නොවැම්බර් 12) අනුරාධපුරයේ පැවැත්වුන පොදු ජන පෙරමුණේ පළාත් පාලන ප්‍රචාරක රැලියේ දී අදහස් දැක්වූ හිටපු ජනාධිපති,මන්ත්‍රී පාර්ලිමේන්තු මහින්ද රාජපක්ෂ තමා කිසිවකු සමඟ ගිවිසුමකට නොයන අතර තමාගේ ගිවිසුම ඇත්තේ මහජනයා සමඟ පමණක් යයි කියා සිටියේය.

එම රැලිය අමතා කතා කළ ඒකාබද්ධ විපක්ෂයට අයත් මන්ත්‍රීවරුද තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමඟ කිසිදු සන්ධානගත වීමක් අවශ්‍ය නොකරන නමුත් පරාජයෙන් බේරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එවැනි සන්ධානගත වීමක් අවශ්‍ය කර ඇතැයි කියා සිටියහ.

එවැනි තක්සේරු කිරීමක් යටතේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර එකමුතුවකට තවත් ඉඩකඩක් ඉතුරුව තිබෙන්නේදැයි බීබීසි සිංහල සේවය විමසූ විට ඊට ප්‍රතිචාරය දැක්වූ සුසිල් ප්‍රේම්ජයන්ත් ඇමතිවරයා එම ප්‍රකාශන තක්සේරු කළේ "දේශපාලන වේදිකාවේ නිතරම මෙන් කෙරෙන ප්‍රකාශන" මට්ටමිනි.

"දේශපාලන වේදිකාවේ දී මහජන අවධානය යොමු කර ගන්න කතා කරනවා. මීට පෙර එකඟතාවක් ඇති වූ අවස්ථාවේ මීටත් වඩා බරපතළ ප්‍රකාශන මෙන්ම කටකතාත් පැතිරුණා. නමුත් අන්තිමේ දී සියලු දෙනා එකම තැනකට ආවා. මේ වතාවේත් ජනතාව බලාපොරොත්තු වෙන්නේ එකමුතුව තරඟ කළ යුතුය කියන එකයි" ඇමතිවරයා පවසයි.

Image copyright Kumara Welgama

වත්මන් ආණ්ඩුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමතිවරුන් කීප දෙනකු ඇතුළු කණ්ඩායමක් ඒකාබද්ධ විපක්ෂයට එක්වීමේ ප්‍රවණතාවක් ඇති බවට පළ වෙමින් ඇති මාධ්‍ය වාර්තා පිළිබඳව බීබීසිය විද්‍යා තාක්ෂණ සහ පර්යේෂණ කටයුතු භාර ඇමති සුසිල් ප්‍රේම් ජයන්ත්ගෙන් විමසීමක් කළ විට ඊට පිළිතුරු දුන් ඇමතිවරයා "මාධ්‍ය පුවත් මවන හෙයින් ඒ ගැන කලබල විය යුතු නැතැයි" කියා සිටියේය.

"මම දන්නා තරමින් කවුරුවත් එහෙම තීරණයක් අර ගෙන නැහැ. ඒත් හැම දෙනා තුළම පොදු අදහසක් පවතිනවා - අපි එකට එකතු විය යුතුය කියල. එහෙම එකතු වෙනවා නම් එක පක්ෂයක් අත් හැරලා වෙනත් පැත්තකට යනවය කියන ප්‍රශ්නයක් මතු වෙන්නෙත් නැහැ," ඇමතිවරයා පවසයි.

"කටකතා විතරයි"

දැනට සිදු වෙමින් ඇතැයි මාධ්‍ය වාර්තා මගින් පැවසෙන සාකච්ඡා හුදෙක් කටකතාවක් පමණක් වන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර් වෙල්ගම මේ අතර පවසයි.

"තවම එවැනි සාකච්ඡාවක් පවත්වල නැහැ. ඒකාබද්ධ විපක්ෂයත් සමඟ එකතු වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උවමනාවක් ඇතැයි කියනවා. නමුත් දැනට තියෙන්නේ කටකතාවක් විතරයි. මම දන්නා විධියට එවැනි සාකච්ඡාවක් සිදු වෙලා නැහැ. එහෙම එකක් තිබුණා නම් මම ඒ ගැන දැන ගන්න ඕන," කුමාර් වෙල්ගම මන්ත්‍රීවරයා බීබීසි සිංහල සේවය සමඟ කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු හැටියට කණ්ඩායම් දෙක එකට එකතු කිරීමේ උවමනාවක් ඔබට තිබේදැයි බීබීසිය කුමාර් වෙල්ගම මන්ත්‍රීවරයාගෙන් විමසූ විට ඊට පිළිතුරු දුන් ඔහු "දැන් ජන බලය ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය සමඟ" යයි සඳහන් කළේය.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබෙනවා පක්ෂයේ සභාපතිකම සහ විධායක ජනාධිපති පදවිය. නමුත් ජන බලය තියෙන්නේ අපට. ඒ බලය තියෙන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමාට සහ ඒකාබද්ධ විපක්ෂයට" මන්ත්‍රීවරයා පවසයි.

තම කණ්ඩායමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධානගත නොවී තනිවම තරඟ කළ හැකි මට්ටමේ ජන බලයක් ඇති බව කුමාර් වෙල්ගම මන්ත්‍රීවරයා කියා සිටියි.

එවැනි තත්වයක් යටතේ "හවුලේ යාමේ උවමනාවක් නැති" බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වෙමින් පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ද ඇතුළුව දේශපාලන බලවේග තුනක් තරඟ වැදුනොත් එහි වාසිය එක්සත් ජාතික පක්ෂයට අත් වෙන බවට සුසිල් ප්‍රේම් ජයන්ත් ඇමතිවරයා පළ කරන අදහස බැහැර කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර් වෙල්ගම, එක්සත් ජාතික පක්ෂයත් මේ වන විට මහජනතාව අතර අප්‍රසාදයට ලක්ව ඇති හෙයින් බහුතර ජන බලය තම කණ්ඩායමට ලැබෙන බව කියා සිටියේය.

ආණ්ඩුව තුළ රැඳී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ඉන් ඉවත්වීමේ දේශපාලන පසුබිමක් නිර්මාණය කෙරෙනු ඇතැයි ද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයා සඳහන් කළේය.