ගංගා ජල මට්ටම් පිළිබඳ අවධානය : "ආරක්‍ෂිත ස්ථාන වෙත යන්න"

  • 2017 දෙසැම්බර් 1
නිල්වලා ගඟ

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි අඩුවිය හැකි බව අපේක්ෂා කළ හැකි වුවද, ගංගා ජල මට්ටම් ඉහළ යාම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් බව පෙන්නුම් කෙරේ.

නිලවලා, ගිං සහ කළු යන ගංගාවල ජල මට්ටම්වල වැඩිවීමක් දැකිය හැකි අතර විශේෂයෙන්ම නිල්වලා ගඟ ආශ්‍රිත පානදුගම හා ඊට පහළින් මේ තත්ත්වය වාර්තාවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසන්නේ, මෙම තත්ත්වය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර "ආරක්‍ෂිත ස්ථාන වෙත යන්න" යි අදාළ ගංගා දෙපස පහළ මට්ටම්වල ජනතාවගෙන් ඉල්ලා සිටින බවය.

මේ අතර නායයාම් සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනය තවදුරටත් වලංගු බවද ඔහු කියා සිටියේය.

නාය යාමේ අවදානම

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (දෙසැම්බර් 01) උදෑසන 10 ට නිකුත් කරන ලද පැය 24ක් සඳහා වලංගු නායයාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමෙන් ඉල්ලා සිටින්නේ පසු ගිය පැය 24 තුළ වර්ෂාපතනය මිමී 75 ඉක්මවා ඇති බැවින්, වර්ෂාව තවදුරටත් පවතින අතර නායයෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළිම්, පස් කණ්ඩි කඩා වැටීම් සහ පොළොව ගිලා බැසීම් අවදානම පිළිබදව විමසිලිමත් වන ලෙසය.

Image copyright Reuters

එම නිවේදනයෙන් පහත දැක්වෙන ප්‍රදේශ ආවරණය කර ඇත.

රත්නපුර :ඇහැලියගොඩ සහ වැලිගෙපාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ

නුවරඑළිය :නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒ අවට ප්‍රදේශ

ගාල්ල :යක්කලමුල්ල සහ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ

මාතලේ : ඇල්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒ අවට ප්‍රදේශ

බදුල්ල : පස්සර සහ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ

මොණරාගල :වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒ අවට ප්‍රදේශ

කළුතර : පාලින්දනුවර, බුලත්සිංහල, ඉංගිරිය සහ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ

නාය යෑම්: පූර්ව ලක්ෂණ මොනවාද?

  • 01. පොළොවේ ඇති වන ඉරි තැලීම්, ගැඹුරට හෑරුණු පැලුම් හා පොළොවේ ගිලා බැසීම්

  • 02. ක්‍රමයෙන් ඇලවී යන ගස්, විදුලි සහ දුරකථන කණු සහ වැටවල් සඳහා යොදා ඇති කණු

  • 03. ගොඩනැගිලිවල ගෙබිම සහ බිත්ති මත ඇති වන පිපිරුම් සහ ඒවායේ ක්‍රමික වර්ධනය වීම්

  • 04. එකවර ජල උල්පත් ඇති වීම හෝ පෙර පැවති ජල උල්පත් බොර වීම, අවහිර වීම හෝ නැති වී යාම

POWERMIN.GOV.LK

ආපදා සහන

කෙසේවෙතත්, අවශ්‍ය ආපදා අවස්ථා සඳහා අදාළ අංශ සුදානමින් සිටින අතර ආරක්‍ෂිත ස්ථාන කරා යන ජනතාව වෙත සහන සැලසීමට පියවර ගෙන ඇති බව පවසන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි, අවශ්‍යතා සඳහා 117 , 2670002, 2136136 යන දුරකත අංක ඇමතිය හැකි බව දන්වා සිටී.

සබැඳි යොමු:

කාලගුණ තත්ත්වය

Image copyright Getty Images

මේ අතර කොළඹ සිට කිලෝමීටර 600ක් පමණ දුරින් දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින OCKHI සුළි කුණාටුව තවදුරටත් දිවයිනෙන් ඉවතට යමින් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එහි බලපෑම අඩුවී යනු ඇතැයි අපේක්ෂා කෙරුණා ද උතුර, උතුරු මැද, ඌව, දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිමි 100 වැඩි තද වැසි ඇති වේ යැයි අපේක්ෂා කෙරේ.

බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 50 ක් පමණ තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේම අකුණු අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර