පොලිස් ස්ථානවලදී නීතිඥයකු නොමැතිව ප්‍රශ්න කිරීම ගැන සැලකිලිමත් විය යුතුයි - එක්සත් ජාතීන්

  • 2017 දෙසැම්බර් 15
Image copyright ISHARA S.KODIKARA

රටපුරා සිදුවන අත්තනෝමතික රඳවා ගැනීම් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පුද්ගල නිදහස සඳහා වන අයිතිය භුක්ති විඳීම සම්බන්ධයෙන් පවතින සැලකිය යුතු මට්ටමේ අභියෝග හඳුනා ගෙන ඇති බව අත්තනෝමතික රඳවා ගැනීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම පවසයි.

ශ්‍රී ලංකාවේ නිල චාරිකාවක නිරතවීමෙන් අනතුරුව සිකුරාදා (දෙසැ 15) සිය නිගමන ප්‍රකාශයට පත් කරමින් නියෝජිතයන් තිදෙනෙකුගෙන් සමන්විත ක්‍රියාකාරී කණ්ඩායම කියා සිටියේ අත්තනෝමතික රඳවා ගැනීම් අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකාව වහා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බවය.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව ගෙන ඇති ඇතැම් සාධනීය පියවර කමිටුවේ පිළිගැනීමට ලක්ව තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණය සමග සම්බන්ධ වී කටයුතු කිරීම මෙන්ම වධහිංසාවලට එරෙහි සම්මුතියේ විකල්ප මුල් කෙටුම්පත සඳහා මෑතක දී එකඟත්වය පළ කිරීම එම පියවර අතරින් කිහිපයකි.

කෙසේ නමුත් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ වන ශ්‍රී ලංකාවේ බැඳීම් ක්‍රියාත්මක කිරීම මෙන්ම 2017 - 2020 මානව අයිතිවාසිකම් පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ දී ඇති පොරොන්දු ඉටුකිරීම සඳහා තවදුරටත් හදිසි ක්‍රියාමාර්ග ගතයුතු බව අත්තනෝමතික රඳවා ගැනීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම පෙන්වා දෙයි.

Image copyright lk.one.un.org
Image caption ශ්‍රී ලංකවේ කළ සංචාරයට ජෝ ඇන්ටෝනියෝ ගුවේරා බර්මූඩස්, ලී ටූමේ සහ එලීනා ස්ටීනර්ට් යන නියෝජිතයන් එක්ව සිටියහ

"නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්, ආරක්ෂක හමුදා, අධිකරණ සහ සෙසු බලධාරීන් තවමත් පුද්ගල නිදහස භුක්ති විඳීම සඳහා වන අයිතියට ගරුත්වයක් ලබා දී නොමැති" බව ඉහත කී විශේෂඥයන් විසින් නිකුත් කරන ලද ප්‍රකාශයේ දැක්වේ.

පුද්ගල නිදහස අහිමි කිරීමේ වත්මන් බලතල පුළුල් ආයතන පරාසයක ව්‍යාප්ත වී ඇති බව එම ක්‍රියාකාරී කණ්ඩායම පෙන්වා දෙයි.

ඒ අතර පොලිස් ස්ථාන, බන්ධනාගාර, විවෘත වැඩ කඳවුරු, බාලවයස්කාර සහ වැඩිහිටියන් සඳහාවන මධ්‍යස්ථාන, මානසික සෞඛ්‍ය ආයතන සහ සන්නද්ධ කණ්ඩායම්වල හිටපු සාමාජිකයන් සඳහා වන පුනරුත්ථාපන කඳවුරු මෙන්ම මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වූ පුද්ගලයන් සහ අනතුරුදායක තත්ත්ව යටතේ ජීවත්වන පුද්ගලයන් සඳහා වන පුනරුත්තාපන කඳවුරු ද වන බව එක්සත් ජාතීන්ගේ නිවේදනයේ දැක්වේ.

රිමාන්ඩ් බන්ධනාගාරයේ තැබීම පමණ ඉක්මවා භාවිත කිරීම, පුද්ගලයන් රඳවා ගැනීම සඳහා ඵලදායී විකල්පයන් නොමැති වීම, යල් පැනගිය නීති රාමුව, බොහෝ අවස්ථාවල වධහිංසා හෝ බලහත්කාරය යටතේ ලබා ගන්නා ලද පාපොච්ඡාරණ මත රඳා පැවතීම ඇතුළු ගැටලු ආමන්ත්‍රණය කිරීම සඳහා හදිසි ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව විශේෂඥයන් කණ්ඩායම ඉල්ලා සිටිති.

සැකකරුවන් දින නියමයකින් තොරව රැඳවුම් භාරයේ සිටින විට අධිකරණ කටයුතු අධික හා අසාධාරණ ප්‍රමාදවලින් අධිකරණ කටයුතු කෙරෙහි බලපෑමක් වී ඇති බව පෙන්වා දෙන එම කණ්ඩායම නිර්දෝෂීභාවය පිළිබඳ පුර්ව නිගමන සහ නියමිත ක්‍රියාවලිය සඳහා වන අයිතීන් තවමත් පිළිගැනීමට ලක්වී නොමැති බව සඳහන් කරයි.

Image copyright Getty Images

හදිසි නීතිය ක්‍රියාත්මක වූ කාල වකවානුව තුළ පනවන ලද විශේෂ නීති හා බලතල අහෝසි කරන ලෙස ඉල්ලා සිටින මෙම විශේෂඥ කණ්ඩායම, අත්තනෝමතික රඳවා ගැනීම්වලට ප්‍රධාන ලෙස ම හැකියාව දුන් සාධකවලට අයත් 1979 ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කළ යුතු බව කියා සිටී.

මෙම දුත පිරිස සිය අවධානය යොමු කළ තවත් විශේෂ කරුණක් වන්නේ, අත්අඩංගුවට පත්වීමෙන් පසු මූලික ප්‍රකාශ සටහන් කර ගැනීමට පෙර වහාම නීති ආධාර ලබා ගැනීම වැනි නියමිත ක්‍රියාවලිය පිළිබඳ මූලික සහතික කිහිපයක් රැඳවියන් භුක්ති නොවිඳීම ය.

"විශේෂයෙන් පොලිස් ස්ථාන තුළ නීතිඥයෙකු නොමැතිව බලධාරීන් විසින් රැඳවියන් ප්‍රශ්න කරනු ලැබීම පිළිබඳ කරුණ දැඩි ලෙස සැලකිල්ලට ගත යුතු" බව විශේෂඥ කණ්ඩායම පවසති.

පවතින තත්ත්ව පිළිබඳ සිය සමාලෝචනය තුළ විශේෂඥ කණ්ඩායම කියා සිටින්නේ "මෙම පසුබිම තුළ අත්තනෝමතිකභාවයට එරෙහි ඵලදායි ආරක්ෂාවන් නොමැති අතර ස්වාධීන අධීක්ෂණය සහ පාලනය සඳහා යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීමේ හදිසි අවශ්‍යතාවක් පවතී" යනුවෙනි

දෙසැම්බර් 04 සිට 15 වෙනිදා දක්වා ශ්‍රී ලංකාවේ කළ සංචාරයට ජෝ ඇන්ටෝනියෝ ගුවේරා බර්මූඩස්, ලී ටූමේ සහ එලීනා ස්ටීනර්ට් යන නියෝජිතයෝ එක්ව සිටියහ.

සමාන පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්