මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරම මැඩලීමට මැලේසියාවේ සහාය

  • 2017 දෙසැම්බර් 18
Image copyright president.gov.lk

මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරම මැඩලීම සඳහා ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර බුද්ධි අංශ තොරතුරු හුවමාරුව තවදුරටත් වර්ධනය කිරීමට මැලේසියාවේ අගමැති නජීබ් රසාක් සහතික විය.

තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින මැලේසියානු අගමැතිවරයා එසේ සහතික වූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග සඳුදා (දෙසැ 18) ජනාධිපති කාර්යාලයේ පැවති ද්වි පාර්ශ්වික සාකච්ඡා අතරතුරදීය.

ඉහත කී ජාවාරම් මැඩලීම සඳහා දෙරට අතර බුද්ධි අංශ තොරතුරු හුවමාරුව තවදුරටත් වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් එහිදී අවධාරණය කරනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත‍්‍ර ගණනාවක සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළබඳ නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර ගුවන් තොටුපොළ කළමනාකරණය, මධ්‍යම පාන්තික නිවාස ඉදිකිරීම, විද්‍යා හා තාක්ෂණික, නැනෝ තාක්ෂණික සහ ජීව තාක්ෂණික, සංචාරක, වෛද්‍ය, අධ්‍යාපන, හමුදා නිලධාරින් පුහුණුව, බුද්ධි තොරතුරු හුවමාරුව, තානාපති නිලධාරින් පුහුුණු කිරීම, ඊ- අධිකරණ තාක්ෂණය, කෘෂිකර්මය ආදි ක්ෂේත‍්‍ර ඊට ඇතුළත් වේ.

එමෙන්ම දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කෙරෙන අවබෝධතා ගිවිසුම් 02 කට සහ සහයෝගීතා ගිවිසුමකට ද අත්සන් තබා තිබේ.

ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර වාර්ෂික වෙළෙඳාමේ අගය 2017 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 680 ක් දක්වා වර්ධනය වී ඇති බවත් ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

දැනට ඇමරිකානු ඩොලර් බිලියන 3.1 ක විදේශ ආයෝජන ක‍්‍රම 47 ක් මැලේසියාව විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනු ලබන අතර, එය තවදුරටත් නංවාලීම තම අභිලාෂය බව ද මැලේසියානු අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ අමාත්‍යවරුන් ගණනාවක් ද ඉහත කී සාකච්ඡාවට එක් වී සිටියහ.

වෙනත් පුවත්:

බීබීසී යෙන්