නිමල් ලන්සා නියෝජ්‍ය ඇමතිකමින් ඉවත් වෙයි

  • 2017 දෙසැම්බර් 19
Image copyright Nimal Lanza

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරූ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා අඟහරුවාදා (දෙසැ 19) එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

2015 අගෝස්තු මාසයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ශ්වය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඔහු පාර්ලිමේන්තුවට තේරීපත්වුණු අතර පසුව ඔහු ආණ්ඩුවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් භාර ගත්තේය.

එක්සත් ජාතික පක්ෂය විසින් බරපතළ චෝදනා එල්ල කරන ලද නිමල් ලන්සා මන්ත්‍රීවරයාට නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාදීම ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු එවක දැඩි අප්‍රසාදය පළ කළහ.

කෙසේ වෙතත් නිමල් ලන්සා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හෙයින් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණයක් හේතුවෙන් ඔහුට ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති ධුරයක් ලබාදුන් බව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ පිළිතුර විය.

ඔහු හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රබල ආධාරකරුවකු බවට ද ඇතැමුන් විසින් හඳුන්වා දෙනු ලැබිණි.

අවස්ථා ගණනාවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට ද ඔහු ප්‍රකාශ කර තිබේ.

ඔහු සමග එළෙස ප්‍රසිද්ධ ප්‍රකාශ කරමින් සිටි අරුන්දික ප්‍රනාන්දු සහ දුලිප් විජේසේකර යන මන්ත්‍රීවරුන් නියෝජ්‍ය අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කටයුතු කළේය.

එම මන්ත්‍රීවරුන් දෙදෙනා පසුව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට එක් වූහ.

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම

නිමල් ලන්සා මන්ත්‍රීවරයා මෙලෙස නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්වූයේ ඇයිදැයි යන්න පිළිබඳව තවමත් කරුණු පැහැදිලි කර නොමැත.

ඔහු මාධ්‍යට පවසා තිබුණේ ඉදිරියේදී ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට මාධ්‍ය හමුවක් කැඳවන බවය.

"ආණ්ඩුව ගැන කලකිරීමක් තියෙනවා. රටේ ජනතාව කලකිරිලා ඉන්නේ. ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඉදිරියේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඉවත්වීමට කරුණු කියනවා" යනුවෙන් ඔහු මාධ්‍යට පවසා තිබිණි.

තම අස්වීමට හේතු ජනාධිපතිවරයා ද හමුවී පැහැදිලි කරන බව ඔහු පැවසුවේය.

කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ඔහු එකාබද්ධ විපක්ෂ කණ්ඩායමට එක්වී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත සහාය පලකරනු ඇති බවය.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ ශ්‍රියානි විජේවික්‍රම මන්ත්‍රීවරිය හා වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් පසුගිය සති කිහිපයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත සහාය පළකරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූහ.

සමාන පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්