ජනාධිපති මෛත්‍රී මංගලගේ චක්‍රලේඛය අවලංගු කරයි

Image copyright Getty Images
Image caption ජනාධිපති නියෝගය අනුව කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට නොහැකි වෙයි

කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීමට ඉඩකඩ සලසමින් ආණ්ඩුව විසින් ජනවාරි 10 බදාදා නිකුත් කරන ලද චක්‍රලේඛය අවලංගු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා සිය තීරණය ප්‍රකාශයට පත් කළේ අගලවත්තේ පැවති ප්‍රචාරක රැළියක් අමතමනි.

මත්පැන් මිල දී ගැනීම සහ මත්පැන් වෙළෙඳසැල්හි රැකියා කිරීම සම්බන්ධයෙන් වසර හැටක පමණ කාලයක් කාන්තාවන්ට බල පැවැත්වුන තහංචි ඉවත් කරන බව නිවේදනය කර තිබුණේ මුදල් ඇමති මංගල සමරවීර විසිනි.

ප්‍රචාරක රැළියක් අමතමින් සිටින අතරවාරයේ ජනාධිපතිවරයා එම පියවර සම්බන්ධයෙන් සිය ප්‍රතිචාරය පළ කරන ලද්දේ මෙපරිද්දෙනි.

"මමත් ඒක දැක්කේ මධ්‍ය තුල තමයි. අරක්කු තැබෑරුම් අරින වෙලාවල් වෙනස් කරලා තියෙනවා. උදේ අටේ පටන් රෑ දහය වෙනකම් කියලයි මට ආරංචි. රැස්වීම්වලට යනකොට කාරෙකේ දි තමයි ප්‍රවෘත්තිවලට මේක ඇහුවේ. ඊ ලඟට තියෙනවා - කාන්තා වන්ට අරක්කු කඩවලට වෙළෙඳසැල් වලට ගිහිල්ලා -බාර්වලට ගිහිල්ලා අරක්කු බෝතල් මිලට ගන්න නොහැකිය කියල නීතියක් තිබුණය- ඒ නීතිය වෙනස් කළාය කියල මට දැන ගන්න ලැබුනා."

Image copyright Bloomberg
Image caption උදේ අටේ පටන් රාත්‍රී දහය වෙනතෙක් තැබෑරුම් ඇර තැබීමේ අවසරයටත් ජනපති එකඟ නැත

කාන්තාවන්ට බල පෑ පැරණි නීතිය ඉවත් කිරීමට ආණ්ඩුව පියවර ගනු ලැබීම සම්බන්ධයෙන් අන්තර්ජාලය තුළ පළ වෙමින් තිබුණේ මිශ්‍ර ප්‍රතිචාරයකි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මුලින් කී තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ ඒ අතරය.

ජනාධිපතිවරයා අගලවත්ත ජනතාව අමතමින් තව දුරටත් මෙසේ කියා සිටියේය.

"මම මුදල් ඇමති මංගල සමරවීර ඇමතිතුමාට කතා කළා. එතුමා දැන් දවස් තුනක් ඉන්දියාවේ. මම අපේ අගමැතිතුමාට ඊයේ උදේ කතා කළා. ආණ්ඩුවේ ඇමතිවරු කීප දෙනෙකුට කතා කළා. මම කිව්වා- මේ දාල තියෙන අලුත් චක්‍රලේඛය - බාර් ඇරලා තියන්න - උදේ අටේ ඉඳන් රෑ දහය වෙනකම් - කාන්තාවන්ට බාර්වලින් අරක්කු ගන්න අවසර දෙන චක්‍රලේඛය වහාම ඉවත් කර ගන්නය කියල" ඔහු අවධාරණයෙන් සඳහන් කළේය.

"ඒ චක්‍රලේඛය හෙට සිට අහෝසි කරනවා-අවලංගු කරනවා.එවැනි තීන්දු තීරණ විතරක් නොවෙයි, මීට වඩා ලොකු දේවල් වලදී වුනත්"යනුවෙන් ජනාධිපතිවරයා කියා සිටියි.

රජය අදාළ පැරණි නීතිය වෙනස් කිරීමේ තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණේ "1955 වසරේ පටන් බල පැවැත්වුන අදාළ නීතිය කාන්තාවන්ට වෙනස් ලෙස සැලකීමක් වන බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරමින් එය සංශෝධනය කිරීමට තීන්දු කළ" බව පවසමිනි.

සමාජ ජාල ප්‍රතිචාර

"නීතියේ වරදක් නැත. මත්පැන් පානයට ගැහැණු පිරිමි අදාලත්වයක් නැහැ. බොන අයට බොන්න පුළුවන් අකමැති අයට නොබි ඉන්න පුළුවන්" යනුවෙන් ප්‍රවීන් ශර්මා ෆේස්බුක් සමාජ ජලයේ අදහස් දක්වා තිබිණි.

ලලිත් ද සොයිසා ජයවර්ධන සමාජ ජාල ඔස්සේ අදහස් දක්වමින් පවසා තිබුණේ තැඹිලි, කැරට් ආදියෙන් කාන්තාවන් නිවසේදීම වයින් නිෂ්පාදනය කරන බවය.

තවත් සමහරෙක් පවසා තිබුණේ අදාළ තහනම ඉවත් කිරීම තුළින් කාන්තාවන් වැඩි වශයෙන් මත්පැන් භාවිතයට හුරු විය හැකි බවය.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පුරුෂයන්ට වඩා කාන්තාවන් මත්පැන් පානය කිරීමට පෙළඹී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2016 වසරේ දී පැවසීය.

නිල වාර්තාවලට අනුව මත්පැන් පානය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ වසරකට සිදුවන මරණ සංඛ්‍යාව 10,000 -15,000 අතර අගයක් ගනී.

මේ අතර පුරුෂයන් පරිභෝජනයකරන මත්පැන් ප්‍රමාණයට සමාන ඒකක ප්‍රමාණයක් මේවන විට කාන්තාවන් ද පරිභෝජනය කරන බව 2016 වසරේ දී ලොව පුරා ක්‍රියාත්මක කරන ලද අධ්‍යයනයකින් හෙළි විය.

සබැඳි පුවත්;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර