සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ?

Image caption "දැන් ඒ පුද්ගලයාටම සංවිධායක ධුරයක් දී තිබෙනවා. රාජ්‍ය සේවකයන්ට මේ වගේ අඩන්තේට්ටම් කරන්න එමගින් ඔවුන් දිරි ගැන්වීමක් කරනවා"

"රස්සාව එපා කරන අයෙක් සෑම කාර්යාලයකම සිටිනවා" යනුවෙන් සඳහන් වැකි සහිත ඡායාරූප ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල තුළ පළ කරනු ලබන අවස්ථා දුලබ නොවේ.

එසේම සිය සේවා ස්ථානයේ ප්‍රධානියා හෝ සගයන් විවේචනයට ලක් කරමින් ඇතැම් පුද්ගලයන් විසින් සිය සමාජ ජාල පිටු තුළ ඇනුම්පද පළ කරන අවස්ථා ද දැකිය හැක.

ඉහත කී ආකාරයේ අදහස් පළ වීමට සිය සේවා ස්ථානයේ සිදුවන අරියාදු (Bullying) හෝ අඩන්තේට්ටම් (Harassment) බොහෝ විට හේතු සාධක වේ.

අරියාදු නැතිනම් බුලිං (Bullying) සම්බන්ධයෙන් සේවා ස්ථානය තුළ දී බොහෝවිට චෝදනාවට ලක්වන්නේ ආයතනික ප්‍රධානීන් හෝ වෘත්තීය සගයන්ය.

එහෙත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ගත් කළ එහි සේවකයන් දේශපාලනික බලපෑම්වල ද ගොදුරු බවට පත් වේ.

ස්ථාන මාරුවල සිට ශාරීරික වධහිංසා දක්වා එවැනි අරියාදුකම් (බුලි කිරීම්) දුරදිග යා හැක.

සිය ඉල්ලීම පරිදි සිසුවෙකු පාසලට ඇතුළත් කර නොගැනීමේ හේතුව මත බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය තම නිල නිවසට කැඳවා තර්ජනය කර දණ ගැස්සවූ බවට ඌව පළාත් මහඇමති චාමර සම්පත් දසානායකට චෝදනා එල්ලවිය.

Image caption හඬා වැළපෙන බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය (දකුණු පසින්)

ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස් පරීක්ෂණවල දී විදුහල්පතිනිය මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව ද වාර්තා විය.

දේශපාලන අධිකාරිය ඉදිරියේ "දණ නැමීමට" බල කෙරුණු ගුරු මෑණිවරුන් සහ පියවරුන් පිළිබඳ ශ්‍රී ලංකාවෙන් නිතර වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආනමඩුව ප්‍රධාන සංවිධායක හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර විසින් නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයේ සුසිලා හේරත් ගුරුවරිය දණ ගස්වනු ලැබුවේ ඔහුගේ දියණියගේ පාසල් ගවුම දිගු කළ බවට චෝදනා කරමිනි.

ඒ ආකාරයේ බුලි කිරීමකට හෝ අඩන්තේට්ටම්වලට ලක් වන පුද්ගලයෙකුට ඇතිවන චිත්ත පීඩාව කෙබඳුද?

"එදා මම හිතුවේ ලෝකයේ ඉන්න අවාසනාවන්තම ගුරුවරිය මමයි කියලා. එදිනෙදා සාමාන්‍ය ජීවිතය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා," යනුවෙන් සුසිලා හේරත් ගුරු මාතාව බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියාය.

"මම ඒ අත්වින්ද පීඩාව වගේ බදුල්ලේ ගුරුතුමියත් දැඩි සේ මානසික පීඩාවකට ලක් වෙන්න ඇති,"

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
"එදා මාව දණ ගැස්සවූ පුද්ගලයට අද සංවිධායක ධුරයක් දීලා"

හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර සුසිලා හේරත් ගුරුවරිය විදුහල් භූමියේ දන ගස්වා බිය වැද්දවූ බවට වරදකරු කෙරුණු අතර නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පුත්තලම මහාධිකරණ විනිසුරු කියා සිටියේ විත්තිකරුට බරපතල වැඩ සහිතව වසර දෙකක සිර දඩුවමක් නියම කරන අතර එය වසර හතක කාලයකට අත්හිටුවන බවය.

බදුල්ලේ ගුරුවරියට මුහුණ දීමට සිදු වූ බව පැවසෙන අඩන්තේට්ටම් කිරීම පිළිබඳ අදහස් දක්වමින් සුසිලා හේරත් ගුරු මාතාව කියා සිටියේ තමන්ට සිදු වූ අසාධාරණයට නීතියෙන් දඬුවම් හිමි වුවත් වරදකරුට සමාජයෙන් දඬුවම් නොලැබුණු බවය.

"දැන් ඒ පුද්ගලයාටම සංවිධායක ධුරයක් දී තිබෙනවා. රාජ්‍ය සේවකයන්ට මේ වගේ අඩන්තේට්ටම් කරන්න එමගින් ඔවුන් දිරි ගැන්වීමක් කරනවා. ඒක මේ රටේ අනාගත පරපුරට ලබා දෙන වැරදි ආදර්ශයක්" යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කරන්නීය.

තමාට මුහුණ පෑමට සිදු වූ මානසික පීඩනය සම්බන්ධයෙන් උපදේශන ලබා ගැනීම සඳහා එවක තමන්ට අවස්ථාව උදා නොවූ බව ද ඇය සිහිපත් කරයි.

අරියාදු සහ අඩන්තේට්ටම් කිරීම යනු කුමක්ද?

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
අරියාදු සහ අඩන්තේට්ටම්: විශේෂඥ උපදෙස්

මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ධනුජ මහේෂ් පවසන පරිදි අරියාදු සහ අඩන්තේට්ටම් ආකාර දෙකකි:

  • මානසික
  • ශාරීරික

ලොව සෙසු රටවල මෙන්ම ශ්‍රී ලංකාව තුළත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන තුළ අරියාදු සහ අඩන්තේට්ටම් කෙරෙන බව තංගල්ල මූලික රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ධනුජ මහේෂ් කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

එවැනි තත්ත්වයකට මුහුණ දෙන පුද්ගලයෙකුගේ කාර්යක්ෂමතාව හීන වී ගොස් රැකියාවට යාමට පවා අදිමදි කරන ස්වභාවයක් දක්නට ලැබෙනු ඇති බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

එම තත්ත්වය දිගටම පැවතියහොත් විෂාදය (Depression) වැනි මානසික රෝගවලට ගොදුරුවීමේ අවදානම වැඩි බවත් විශේෂඥ වෛද්‍ය ධනුජ මහේෂ් කියා සිටියේය.

ඔහු පවසන පරිදි බුලි කිරීම හෝ අඩම්තේට්ටම් නිසා ඇති වන චිත්ත පීඩාව මානසික රෝගයක් දක්වා වර්ධනය වූ පුද්ගලයෙකු තුළ පහත දැක්වෙන ලක්ෂණ දැකිය හැක.

  • නින්ද නොයාම
  • ආහාර අරුචිය
  • ශාරීරික රෝගාබාධ (හිසේ කැක්කුම, ශරීරයේ වේදනාව වැනි හැඟීමක් ඇති වීම)
  • සේවයට වාර්තා කළත් මුළු ගැන්වී සිටීම ( කතාබහ සහ සිනා වීම අඩු කිරීම)
  • කාර්යක්ෂමතාව අඩු වීම සහ නිතර වැරදි සිදුවීම
  • හේතුවෙක් නොමැතිව තරහ යාම
  • නිතර නිවාඩු දැමීම

ආයතනයක් තුළ දී නම් බුලි කිරීම හෝ අඩන්තේට්ටම් සිදු කරනු ලබන පුද්ගලයා සමග ඒ සම්බන්ධයෙන් විවෘතව කතා කිරීම උචිත බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍ය ධනුජ මහේෂ් ඉන් විසඳුමක් නොලැබෙන්නේ නම් ඊට ඉහළින් සිටින නිලධාරියා දැනුවත් කළ හැකි බව කියා සිටියේය.

එවැනි තත්ත්වයකට මුහුණ දුන් පුද්ගලයෙකුට ඇතැම් විට විසඳුමක් පිළිබඳ සිතා ගැනීමට පවා අපහසු වන බව කී විශේෂඥ වෛද්‍යවරයා "මානසික වෛද්‍යවරයෙකු හෝ උපදේශකයෙකු වෙත යා යුතු බව එයාට හිතන්නේ නැහැ" යනුවෙන් සඳහන් කළේය.

එවැනි අවස්ථාවක සිතේ පවතින ආවේගය සිය සහකරු හෝ සහකාරිය නැතිනම් මිතුරෙකුට පැවසීම වැදගත් බවත් ඔහු පෙන්වා දෙයි.

"නමුත් බොහෝ අවස්ථාවල දී එවැනි පුද්ගලයන් දන්නවා ඔහු බුලි වෙනවා කියල, ඒත් උදව් ඉල්ලන්නේ නැහැ. දැන දැන ඊට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නත් නැහැ," යනුවෙන් මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ධනුජ මහේෂ් වැඩිදුරටත් සඳහන් කළේය.

"ෆේස්බුක් සහ ට්විටර් වගේ සමාජ ජාල හරහා සේවා ස්ථානය පිළිබඳ අදහස් දැක්වීම දකින්නෙත් ඒ තමන් තුළ ඇතිවන මානසික පීඩනය පිට කිරීමක් හැටියටයි"

"ශ්‍රී ලංකාවේ තිබෙන අවාසනාවන්ත තත්ත්වය නම් මේ පිළිබඳ දැනුවත්කම අඩු බව බොහෝ දුරට අපි දකිනවා. සමහරු දිගින් දිගටම අඩන්තේට්ටම්වලට ලක් වෙනවා, නමුත් දන්නේ නැහැ මේ සම්බන්ධයෙන් නීති ප්‍රතිපාදන සහ උපකාර ඇති බව. ඊට විරුද්ධව යමක් කළ යුතුයි කියන ආකල්පය ශ්‍රී ලංකාවේ සමාජය තුළ ගොඩ නැගී නැහැ,"

බුලි කිරීම හෝ අඩන්තේට්ටම්වලට ලක් වූ පුද්ගලයෙකුට ඊට සාධාරණය ඉටු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන තුළ නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වේද?

එවැනි අවස්ථාවක ඔබ කළ යුත්තේ කුමක්ද?

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
ආකල්පමය වෙනසක් අවශ්‍යයි - ආචාර්ය අනූෂා එදිරිසිංහ

බුලි කිරීම් හෝ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ මීට ඉහත දී නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවූව ද කාන්තා සහ සේවක අයිතිවාසිකම් පිළිබඳ රට තුළ සංවාදයක් මතුව ඇති බැවින් එහි යම් ප්‍රගතියක් දක්නට ඇති බව කැලණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ආචාර්ය අනූෂා එදිරිසිංහ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවාය.

බුලි කිරීම් හෝ අඩම්තේට්ටම්වලට වැට බැඳීම සඳහා ප්‍රතිපත්ති (Policies) සහ ක්‍රියාකාරී සැලසුම් (Action Plans) නිර්මාණය වුවත් ඒ සම්බන්ධයෙන්පැමිණිලි කිරීම සඳහා තවමත් ශ්‍රී ලාංකිකයන්ගේ මානසික මට්ටම සැකසී නොමැති බව ඇය පෙන්වා දෙන්නීය.

ආචාර්ය අනූෂා එදිරිසිංහ පවසන පරිදි බුලි කිරීම් හෝ අඩන්තේට්ටම්, ලිංගික හිංසනය සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා මේ වනවිට මානව හිමිකම් කොමිසම හරහා සෑම අමාත්‍යංශයක් තුළම ප්‍රතිපත්තියක් සම්පාදනය කර ඇත.

එවැනි අවස්ථාවක සහාය සහ උපදේශන ලබා ගත හැකි ආයතන:

  • සේවය කරන අමාත්‍යංශය
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ ඇති උපදේශ සේවා
  • පොලිසිය
  • ජාතික කාන්තා කමිටුවේ පැමිණිලි අංශය

එවැනි සේවා ඇති නමුත් අඩන්තේට්ටම්වලට එරෙහිව පැමිණිලි කිරීමට බොහෝ දෙනෙකු ඉදිරිපත් නොවන බව පවසන ආචාර්යවරිය ඒ සම්බන්ධයෙන් සමාජයේ පවතින ආකල්ප වෙනස් විය යුතු බව අවධාරණය කරයි.

ඊට අමතරව අසාධාරණයට ලක්වන කාන්තාවන්ට සහාය වීම සඳහා කාන්තා කටයුතු අමාත්‍යංශය මගින් සෑම අමාත්‍යංශයක් වෙතම ස්ත්‍රී පුරුෂ සමාජභාවී සංකේන්ද්‍රික නිලධාරිනියන් යොදවනු ලැබ ඇති බවත් ඇය කියා සිටියාය.

ඇතැම් අමාත්‍යංශ විසින් එම තනතුර පිළිගනු ලැබ ඇති බව කී ආචාර්ය අනූෂා එදිරිසිංහ "නමුත් සමහර අමාත්‍යංශවල, මේවා කාන්තා අයිතිවාසිකම්, මේවා පිරිමි අයට විරුද්ධව නැගී සිටින බලවේග කියලා හිතලා අර නිලධාරිනියන්ට මේස පුටු නොදෙන අමාත්‍යංශත් තිබෙනවා"

කෙසේ නමුත් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සිය අයිතිවාසිකම් සහ ඒ සම්බන්ධයෙන් පවතින නීති පිළිබඳ දැනීමක් ඇති බලගැන්වුණු (Empowered) පුද්ගලයෙකු නිර්මාණය කිරීම පාසල් මට්ටමේ සිට ආරම්භ කළ යුතු බව කථිකාචාරිනී ආචාර්ය අනූෂා එදිරිසිංහ පෙන්වා දෙන්නීය.


සේවා ස්ථානයේ සිදුවන අරියාදු (Bullying) හෝ අඩන්තේට්ටම් (Harassment) පිළිබඳ ඔබේ අත්දැකීම අපට කියන්න.


දුරකතන :

+44 (0) 20 36144039

+ 44 (0)20 36140556

+ 44 (0)20 36140555

+ 44 (0)20 36140554

+ 44(0) 20 36140551

+ 44(0) 20 36140552

Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න

ඊමේල් : sinhala@bbc.co.uk

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්