"එදා මාව දණ ගැස්සවූ පුද්ගලයට අද සංවිධායක ධුරයක් දීලා"
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"එදා මාව දණ ගැස්සවූ පුද්ගලයට අද සංවිධායක ධුරයක් දීලා"

"මාව දන ගස්සපු පළාත් සභා මන්ත්‍රීවරයාට නීතියෙන් දඩුවම් ලැබුනා. නමුත් ඔහුට සමාජයෙන් නිසි දඩුවමක් ලැබුනේ නැහැ," පසුගිය පාලන සමයේ දී හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු විසින් දණ ගස්වනු ලැබූ නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයේ සුසිලා හේරත් ගුරුවරිය සිය මතකය අවදි කළේ එලෙසිනි.

සිය ඉල්ලීම පරිදි සිසුවෙකු පාසලට ඇතුළත් කර නොගැනීමේ හේතුව මත බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය තම නිල නිවසට කැඳවා තර්ජනය කර දණ ගැස්සවූ බවට ඌව පළාත් මහඇමති චාමර සම්පත් දිසානායකට ද චෝදනා එල්ල වේ.

හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර වෙත චෝදනා එල්ල වූයේ සිය දියණියගේ ගවුම දික් කළ බවට චෝදනා කරමින් 2013 වසරේ දී සුසිලා හේරත් ගුරුවරිය විදුහල් භූමියේ දන ගස්වා බිය වැද්දීමක් කළ බවටය.

ඉන් අනතුරුව සිදුවීම හෙළා දකිමින් රට පුරා විරෝධතා ව්‍යාපාර දියත් විය.

ඒ සම්බන්ධයෙන් පැවති නඩු විභාගයෙන් ආනන්ද සරත් කුමාර වරදකරු කෙරුණු අතර නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පුත්තලම මහාධිකරණ විනිසුරු කියා සිටියේ විත්තිකරුට බරපතල වැඩ සහිතව වසර දෙකක සිර දඩුවමක් නියම කරන අතර එය වසර හතක කාලයකට අත්හිටුවන බවය.

එසේ තිබියදී වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ආනන්ද සරත් කුමාර ආනමඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා වශයෙන් පත් කරනු ලැබ ඇති බව සුසිලා හේරත් ගුරුවරිය පවසයි.

"එදා මම හිතුවේ ලෝකයේ ඉන්න අවාසනාවන්තම ගුරුවරිය මමයි කියලා. එදිනෙදා සාමාන්‍ය ජීවිතය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා. මම ඒ අත්වින්ද පීඩාව වගේ බදුල්ලේ ගුරුතුමියත් දැඩි සේ මානසික පීඩාවකට ලක් වෙන්න ඇති," යනුවෙන් ඇය කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

"දැන් ඒ පුද්ගලයාටම සංවිධායක ධුරයක් දී තිබෙනවා. රාජ්‍ය සේවකයන්ට මේ වගේ අඩන්තේට්ටම් කරන්න එමගින් ඔවුන් දිරි ගැන්වීමක් කරනවා. ඒක මේ රටේ අනාගත පරපුරට ලබා දෙන වැරදි ආදර්ශයක්" යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කරන්නීය.

තමාට මුහුණ පෑමට සිදු වූ මානසික පීඩනය සම්බන්ධයෙන් උපදේශන ලබා ගැනීම සඳහා එවක තමන්ට අවස්ථාව උදා නොවූ බව ද ඇය සිහිපත් කරයි.

අරියාදු (Bullying) හෝ අඩන්තේට්ටම්වලට (Harassment) ලක් වූ පුද්ගලයෙකුට ඊට සාධාරණය ඉටු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන තුළ නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වේද?

එවැනි අවස්ථාවක ඔබ කළ යුත්තේ කුමක්ද?

වැඩි විස්තර සඳහා කියවන්න: සේවා ස්ථානයේ අරියාදු: 'බුලි' වුණොත් මොකද කරන්නේ?