"තාප්ප බැඳලා තිබෙන්නේ මිනිසුන්ගෙන් බේරෙන්න, සතුන්ගෙන් නොවෙයි"

මිනිසා සහ සුනඛයා අතර පවතින මිතුදම මානව ඉතිහාසයේ ඈතට දිව යන්නකි.

එසේ වූ මිනිසාගේ හොඳම මිතුරා වෙනුවෙන් කැපවුණු ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳ බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.

සුනඛයන් වෙනුවෙන් කැප වුණු නිහාල් ද සිල්වා අතින් කුසගිනි නිවා ගනු ලබන සුනඛයන් සංඛ්‍යාව 120 -150 අතර වෙති.

පැලවත්ත, කොස්වත්ත, පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය, බත්තරමුල්ල සහ මාලඹේ යන ප්‍රදේශවල සැරිසරන සුනඛයන් වෙත ඔහු දිනපතා ආහාර සපයයි.

නිහාල් ද සිල්වා පවසන පරිදි ඔහු සුනඛයන් වෙත ආහාර සැපයීම ආරම්භ කර ඇත්තේ මීට වසර දහඅටකට ඉහතදීය.

අදාළ කාලය තුළ දී තමන්ට එම කාර්යය ඉටුකළ නොහැකි වූයේ අවස්ථා හයක දී පමණක් බව ඔහු සිහිපත් කළේය.

සහල්, කුකුළු මස්, පීකුදු සහ සත්ව ආහාර යොදා ගනිමින් සුනඛයන්ට ආහාර පිසීම සඳහා දිනකට රුපියල් 6,000 ක් වැය වන බව කී ඔහු උදෑසන 7 වන විට ආහාර පිසීම ආරම්භ කරයි.

"හෝන් එක ගහනකොට ඒගොල්ලෝ දන්නවා මම ඇවිත් ඉන්න බව. ඒගොල්ලෝ දෙන කෑම එක කනවා මිසක් විවේචනය කරන්නේ නැහැ, අඩුපාඩු හොයන්නෙත් නැහැ. හැබැයි මම දෙන කෑම එකත් හොඳටම දෙනවා" යනුවෙන් නිහාල් ද සිල්වා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

ඉන් අනතුරුව දහවල් 1.30 ට පමණ ආහාර බෙදා දීම ආරම්භ කරන ඔහු රාත්‍රී 8 පමණ වන තෙක් එම කටයුත්තේ නියැලෙයි.

සුනඛයන් තුළ "මිනිස් ගුණ"

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
සුනඛයන් වෙනුවෙන් කැප වූ නිහාල්

කලක් විදෙස්ගතව සිටි නිහාල් යළි සියරට පැමිණීමෙන් අනතුරුව සිය ජීවිතයම සුනඛයන් වෙනුවෙන් කැප කර තිබේ.

මනුෂ්‍යයන්ට වඩා "මිනිස් ගුණ" සුනඛයන් තුළ දැකිය හැකි බව පවසන නිහාල් පෙන්වා දෙන පරිදි පසුගිය කාලය පුරාවටම ඔහු කොළඹින් බැහැරව ගොස් ඇත්තේ අවස්ථා දෙකකදී පමණි.

අනාදිමත් කාලයක සිට මිනිසුන් සමග වෙසෙන සුනඛයන් මිනිසාට ආදරය කරනවා සේම මිනිසාගේ පැවැත්මට බාධා කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ඝාතකයන් ඇතුළු අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමට ද සහාය වන බව ඔහු පෙන්වා දෙයි.

"තාප්ප බැඳන් ඉන්නේ මනුස්සයන්ගෙන්ම බේරෙන්න, සතුන්ගෙන් බේරෙන්න නෙවෙයි. හිර ගෙවල් තියෙන්නේ සත්තුන්ව පාලනය කරන්න නෙවෙයි, මිනිස්සුන්ව පාලනය කරන්න" යනුවෙන් කී නිහාල් ද සිල්වා තමන්ට හැකි තාක් සුනඛයන් වෙනුවෙන් තවදුරටත් කැප වන බව සඳහන් කළේය. වීථියේ දිවි ගෙවන සුනඛයින්ට ආහාර සැපයීමට අමතරව අවශ්‍ය අවස්ථාවලදී එම සතුන්ට ප්‍රතිකාර කිරීමේ පහසුව ද තමන් සලසා දුන් අවස්ථා ඇති බව ඔහු කියයි.

අයාලේ යන සුනඛයන්

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
සුනඛයින්ට සරණවන බ්‍රිතාන්‍ය වෛද්‍යවරිය

2017 වසරේ වාර්තාවලට අනුව කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල සුනඛයන් 16,000 ක් පමණ වෙසෙති.

ශ්‍රී ලංකාව තුළ අයාලේ යන සුනඛයන් ලක්ෂ තිහක් පමණ වෙසෙන අතර ඉන් 60% ක් බාල අවදියේදී ම මරණයට පත් වේ.

ශ්‍රී ලංකාවේ සුනඛ ගහනයෙන් අයාලේ යන සුනඛයන් ඇත්තේ 2% කටත් අඩු ප්‍රතිශතයක් බව පශු වෛද්‍ය චමිත් නානායක්කාර පසුගිය වසරේ දී බීබීසී වෙත අදහස් දක්වමින් පැවසීය.

වෙනත් යොමු:

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර