පළාත් පාලන ආයතන රැසක බලය පිහිටුවීම අර්බුදයක

  • 2018 පෙබරවාරි 13
ඡන්දය දීමට පෙළ ගැසී

පළාත් පාලන මැතිවරණයේ දී කිසියම් පක්ෂයකයට බහුතර බලයක් හිමි නොවූ පළාත් පාලන ආයතන රැසක බලය පිහිටුවීම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්වයක් මතු වී ඇති බව දේශපාලන පක්ෂ නියෝජිතයෝ පවසති.

විශේෂයෙන්ම මැතිවරණ ප්‍රතිඵලය අනුව පක්ෂ කිහිපයක් අතර ජන්ද බෙදීයාම හා නව මිශ්‍ර මැතිවරණ ක්‍රමය හේතුවෙන් කුඩා පක්ෂවලට වැඩි මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් හිමිවීම මේ තත්වයට හේතු වී තිබේ.

යම් ප්‍රාදේශීය සභාවක, නගර සභාවක හෝ මහ නගර සභාවක මන්ත්‍රී ධුර සංඛ්‍යාවෙන් අඩකට වඩා ලබාගැනීමට කිසියම් පක්ෂයක් සමත් වුවහොත් ප්‍රාදේශීය සභාවේ සභාපති හෝ නගරාධිපති වැනි තනතුරු සඳහා පුද්ගලයන් නම් කිරීමේ බලය අදාළ පක්ෂයේ ලේකම්වරයාට හිමිවේ.

එසේ බහුතර බලයක් නොමැති නම්, අදාළ පළාත් පාලන ආයතනයේ ප්‍රධානී තනතුර හිමිවන්නේ එහි මන්ත්‍රීවරුන්ගෙන් වැඩි දෙනා කැමැත්තක් දක්වන මන්ත්‍රීවරයාට හෝ මන්ත්‍රීවරියටය.

Image caption එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළත් හම්බන්තොට නගර සභාවේ බලය කාටද?

එහෙත් මැතිවරණයේදී පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළ බොහෝ පක්ෂවලට බහුතර මන්ත්‍රී බලයක් නොමැතිවීම හේතුවෙන් එම ආයතනයේ බලය ලබාගැනීම පිණිස අනිකුත් පක්ෂ සමග සන්ධාන ගතවීමට සිදු වී තිබේ.

එසේ නොමැතිනම් තේරී පත්වුණු සෙසු පක්ෂවල හා ස්වාධින කණ්ඩායම්වල මන්ත්‍රීවරුන් එක්ව වැඩි මන්ත්‍රී සංඛ්‍යාව දිනාගත් පක්ෂය විපක්ෂයට දමමින් අදාළ ආයතනයේ බලය ලබාගැනීමට හැකියාව තිබේ.

උදාහරණයක් හම්බන්තොට නගර සභාවේ ආසන 9ක් දිනාගනිමින් ජයග්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්ෂය සමත් වුවත්, එහි දෙවෙනි සහ තෙවෙනි ස්ථානවලට පත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව එහි බලය පිහිටුවන බව ප්‍රකාශ කර තිබේ.

එය අදාළ පක්ෂවල ඉහළ මට්ටමින් ගනු ලැබූ තීරණයක් නොව නගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ තීරණයක් බව එම මන්ත්‍රීවරු ජනමාධ්‍ය වෙත පවසා තිබුණි.

එහෙත් එවැනි සන්ධානයක් පිහිටුවීමේ බලාපොරොත්තුවක් නැති බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ට්විටර් පණිවුඩයක සඳහන් කර තිබුණි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට නගර සභාවේ ආසන 7ක් හිමිවූ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 4ක් දිනාගෙන තිබේ.

මෙලෙස පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කළ එහෙත් බහුතර බලය ලබාගැනීමට නොහැකි වූ ආයතනවල බලය ලබාගැනීමට එහි සෙසු පක්ෂ උත්සාහ කරමින් සිටියි.

කෝට්ටේ නගර සභාව ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එහි බහුතර බලයක් හිමි වී නොමැති බැවින් එහි බලය අත්පත් කරගැනීම පිණිස දෙවැනි ස්ථානයට පත් එක්සත් ජාතික පක්ෂය හා තුන්වැනි ස්ථානයට පත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡාවක් සිදුවෙමින් පවතින බව කෝට්ටේ නගර සභාවට තේරී පත්ව සිටින මන්ත්‍රීවරයෙක් බීබීසි සිංහල සේවයට පැවසීය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය ජයගත් ආයතනවල බලය ලබාගැනීම පිණිස දැනටමත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ලංකා කම්කරු කොන්ග්‍රසය එක්ව තිබේ.

පක්ෂ නායකයන් කෙසේ පැවසුවත් පළාත් පාලන ආයතනවල නගරාධිපති/සභාපති තේරීමේ මෙම ජන්ද විමසීමේදී බොහෝ පැති මාරුකිරීම් දක්නට ලැබෙනු ඇති බව ද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පැවසුවේ පෙබරවාරි 15 දින කැඳවීමට තිබුණ පළාත් පාලන ආයතන සියල්ල සංස්ථාපනය කිරීම මාර්තු මස 6 වෙනි දින දක්වා කල් දමා ඇති බවය. ඒ අනුව එම ආයතනවල පළමු රැස්වීම පවත්වා සභාපති/නගරාධිපති පත්කර ගැනීම එදින සිදුකළ යුතුය.

මෙලෙස ජයග්‍රහණය කළ පිරිස අත්හැර වෙනත් පිරිසක් බලය අත්පත් කරගැනීම විකෘති ජනමතයක් ඇතිකිරීමක් ලෙස ඇතැමුන් හඳුන්වන අතර තවත් සමහරුන් පවසන්නේ එය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් බවය.

Image copyright Getty Images

මෙම නව මැතිවරණ ක්‍රමය හේතුවෙන් සභා පිහිටුවීමේදී ගැටලු රැසක් මතු වී තිබෙන බව නාමල් රාජපක්ෂ සහ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරු බීබීසි සිංහල සේවයට පැවසූහ.

එක්සත් ජාතික පක්ෂය ජයගත් බදුල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට තවත් පක්ෂයක් සමග සන්ධානගතවීමට සිදුව තිබෙන බව හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පුවත්පතකට අදහස් දක්වමින් පවසා තිබුණේ සිය පක්ෂය කිසිදු පක්ෂයකට බලය පිහිටුවීමට දායක නොවන බවය.

මේ අතර පක්ෂවල අතිරේක ලැයිස්තුවලට මන්ත්‍රීවරුන් පත්කිරීම ගැන ද දැඩි ආන්දෝලනාත්මක තත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වේ. කාන්තා නියෝජනය තහවුරු කිරිම හා කොට්ඨාස පරාජය වූ ප්‍රබල අපේක්ෂකයන්ට අවස්ථාව ලබාදීමට සිදුවී ඇති බැවින් ලැයිස්තු තෝරාගත යුතු පක්ෂවල ආසන සංවිධායකයෝ දැඩි පීඩනයකට මුහුණ දී සිටිති.

"හැමෝටම ඉඩක් දෙන්න බැහැ. ලැයිස්තුවේ ඉන්න හැම කෙනෙක්ම අවස්ථාවක් බලාපොරොත්තු වෙනවා. ඒවගේම කොට්ඨාසය පැරදුනු අයත් ඉල්ලනවා. මේකන් 80%ක් මාත් එක්ක තරහ වෙනවා," ගාල්ල දිස්ත්‍රිකක්යේ ආසන සංවිධායකයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.