ආණ්ඩුව ජාතිවාදය අවුස්සනවා - රනිල්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අප්‍රේල් 26 බ්‍රහස්පතින්දා - 09:04 GMT

දිනෙන් දින ඉහල යන ජීවන වියදම පාලනය කර ගැනීමට නො හැකි වීමත්, එයින් බැට කන ජනතාවට වැටුප් වැඩි වීමක් ලබා දීමට නො හැකි වීමත් වසා ගැනීම සඳහා ජාතිවාදය අවුස්සමින් සිටින බවට ශ්‍රී ලංකාවේ ප්‍රධාන විරුද්ධ පක්ෂය ආණ්ඩුවට චෝදනා කරයි.

එක්සත් ජාතික පක්ෂයේ සහ විරුද්ධ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද මේ බව ප්‍රකාශ කළේ කෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය, සිරිකොතදී මාධ්‍යවේදීන් අමතමිනි.

දෙමළ ජාතික සන්ධානයද ඇතුළුව, ශ්‍රී ලංකාවේ සියලුම ජාතීන් රටේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂාකරගැනීමට දැනටමත් එකඟවී සිටින බව කී විපක්ෂ නායකයා, එබැවින් සියලුම ජාතීන්ට සමානව සැලකීම සහතික කිරීම ආණ්ඩුවේ වගකීම බවද පැවසීය.

"ආණ්ඩුව මේක නවත්වන්නේ නැති නිසා තමයි මේ ජීවන වියදමට විරුද්ධව, පඩි වැඩි කරන්න, ධීවරයන්ට ගොවීන්ට සහන දෙන්න කියල මැයි දිනේ විශේෂ ඉල්ලීමක් අපි කරන්න යන්නෙ. එකයි ඒකාබද්ධ විරුද්ධ පක්ෂය කරන්න යන්නෙ. පාර්ලිමේන්තුව ඇතුලේ හිටියත් පිට හිටියත් අපි ඔක්කොම තීරණය කළා. අපි යාපනෙන් පටන්ගත්තා," ඔහු ප්‍රකාශ කළේය.

'යාඥා කරන්න'

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් තත්ත්වය තවත් උග්‍රවී ඇති බවටද විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ චෝදනාවක් කළේය.

"අග්නි මිසයිලය මොකක්ද, එකට පුළුවන් එක නගරයක් විනාශ කරන්න විතරයි ඒත් මේ කබ්රාල් ගැහුවම මුළු ලංකාවම විනාශ වෙනවා," ඔහු පැවසීය.

ජීවන බරෙන් පෙලෙන ජනතාව සුදු වෑන් යොදා ගෙන පැහැර ගන්නා බවටද විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට චෝදනා කළේය.

මේ අතර නිවේදනයක් නිකුත් කරන සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව දඹුල්ලේ කයිරියා මුස්ලිම් දේවස්ථානයට පසුගිය 20 වැනි සිකුරාදා කඩා වැදුනු මැර පිරිසක් එම දේවස්ථානයට එල්ල කළ ප්‍රහාරය පිළිබඳව තම බරපතල අවධානය යොමුවී ඇති බව පවසයි.

එම සිදුවීම ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාවට බරපතල නිශේධනීය බලපෑමක් එල්ල කළ හැකි බවට අනතුරු ඇඟවීමක් ද කරන උලමා සභාව අනිද්දා රටපුරාම යාඥා මෙහෙයකට එක්වන මෙන් මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි.

දඹුල්ලේ මුස්ලිම් දේවස්ථානයට පහර දීම දෙමළ ජාතික සන්ධානය විසින් හෙළා දකිනු ලබන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මේ අතර බීබීසී සංදේශයට පැවසීය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.