ලන්ඩන් පුරපති අපේක්ෂකයෝ 'කොටි හිතවතුන්'

ලන්ඩන් පුරපති අපේක්ෂකයෝ Image copyright PA
Image caption ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන් දෙදෙනාම එල්ටීටීඊ හිතවාදීන් බව ශ්‍රී ලංකා ආණ්ඩුව කියයි

ඊයේ පැවති ලන්ඩන් නගරාධිපති මැතිවරණයට ප්‍රධාන පක්ෂ දෙකෙන් තරඟ වැදුණු අපේක්ෂකයන් දෙදෙනාම එල්ටීටීඊ හිතවාදීන් බව ශ්‍රී ලංකා ආණ්ඩුව කියයි.

පාලක කොන්සර්වේටිව් පක්ෂයේ අපේක්ෂක වත්මන් නගරාධිපති බොරිස් ජොන්සන් සහ ලේබර් විරුද්ධ පක්ෂයේ අපේක්ෂක කෙන් ලිවින්ස්ටන් දෙදෙනාම ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන්ගේ ඡන්දය බලාපොරොත්තුවෙන් ඔවුන්ට විවිධ පොරොන්දු ලබා දී ඇති බව ශ්‍රී ලංකා ආණ්ඩුවේ නිල වෙබ් අඩවිය පවසයි.

ශ්‍රී ලංකා ආණ්ඩුවේ හමුදා විසින් එල්ටීටීඊය පරාජය කළ මැයි 18 වැනි දින දෙමළ ජාතික දිනය සැමරීම සඳහා ලන්ඩන් නගර මධ්‍යයේ පිහිටි ට්‍රැෆල්ගාර් චතුරශ්‍රය හෝ අගනුවර වෙනත් ස්ථානයක් ලබාදීමට කෙන් ලිවින්ස්ටන් පොරොන්දුවී ඇති බවයි, එහි සඳහන් වෙන්නේ.

ඊයේ මැතිවරණයේදී කෙන් ලිවින්ස්ටන්ගේ ප්‍රධානම ප්‍රතිවාදියා වූ බොරිස් ජෝන්සන්ද දෙමළ ජාතිකයන්ගේ ඡන්දය ලබාගැනීම සඳහා එල්ටීටීඊ හිතවාදීන්ට විවිධ පොරොන්දු ලබාදී ඇති බවද ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාව, එල්ටීටීඊයට හිතවාදී සංවිධාන සහ කොටි සංවිධානයෙන් ශේෂ වූ කණ්ඩායම් සමීප සම්බන්ධතා පවත්වන්නේ යයි විවිධ ජාත්‍යන්තර වාර්තා මඟින් හෙළිවන බවද එහි සඳහන් වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර