දුමින්ද වෙනුවෙන් පෙනීසිටීමට නීතිඥයන්ට අවසර

ජනාධිපති මහින්ද රාජපක්ෂ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දේහයට බුහුමන් දක්වමින්
Image caption මුල්ලේරියාවේ සිදුවූ වෙඩි තබා ගැනීමකින් භාරත ලක්ෂ්මන් හිටපු මන්ත්‍රීවරයා ඝාතනයට ලක්වූයේ ඉකුත් ඔක්තෝබර් මාසයේදී

අපරාධ නඩුවක දී සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය මහාධිකරණය විසින් තහවුරු කර දෙන ලද බව ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකාර ආරක්ෂක අමාත්‍යංශ අධීක්ෂණ මන්ත්‍රී දුමින්ද සිල්වා නියෝජනය කිරීමේ අවසරය ලද නීතිඥ වරයා මාධ්‍ය වේදීන්ට ප්‍රකාශ කළේය.

නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය බීබීසී සංදේශයට ඒ බව ප්‍රකාශ කළේ දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ අනුමැතියකින් තොරව නීතිඥවරයෙකුට ඔහු නියෝජනය කළ නොහැකි බවට මහේස්ත්‍රාත් අධිකරණය ලබාදී තිබූ තීන්දුවක් මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් අනතුරුවයි.

පළාත් පාලන මැතිවරණ සමයේ මුල්ලේරියාවේ සිදුවූ වෙඩි තබා ගැනීමකින් භාරත ලක්ෂ්මන් හිටපු මන්ත්‍රීවරයා ඇතුළු සිව් දෙනකු ඝාතනයට ලක්වූයේ ඉකුත් ඔක්තෝබර් මාසයේදී.

පොලිසිය අධිකරණයට ඉකුත් දිනක දැනුම් දී තිබුනේ සැකකාර දුමින්ද සිල්වා මන්ත්‍රී වරයා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

ඔහු අත් අඩංගුවට ගැනීම සඳහා ජනවාරි යේ සිට නීතිපති උපදෙස් බලාපොරොත්තුවෙන් සිටින පොලිසිය ඉල්ලා නැති වරෙන්තුවක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නැතැයි ද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද යලිත් වරක් තීන්දු කළේය.