සරත් ෆොන්සේකා නිදහස් කිරීමට අනුමැතිය

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා
Image caption හිටපු හමුදාපති සරත් ෆොන්සේකා

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ලබාගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක බන්දුල ජයසේකර කියා සිටී.

කැබිනට් අනුමැතිය ලබා ගැනීමට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ අනෝමා ෆොන්සේකා මුනගැසී සාකච්ඡා පවත්වා ඇත.

සරත් ෆොන්සේකා කොන්දේසි විරහිතව නිදහස් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන්ට එකග වූ බව හිටපු හමුදාපතිවරයාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා කියා සිටී.

පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ගේ නිවසේදී පුරා පැය දෙකක් තිස්සේ ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග සුහදව කෙරුණු සාකච්ඡාවකින්අනතුරුව ඉදිරි දින කීපය තුල සරත් ෆොන්සේකා නිදහස් කෙරන බවට තමන් තුල විස්වාසයක් ගොඩ නැගී ඇති බව අනෝමා ෆොන්සේකා බීබීසී සංදේශයට ප්‍රකාශ කළාය.

"නඩු වල විසඳා ගත යුතු කරුණු කීපයක් ඇති නිසා හරියටම දිනයක් කියන්න බැහැ" යැයි කියා සිටි ඇය ඉදිරි සති අන්තය ගැන විමසිල්ලෙන් සිටින ලෙස ඉල්ලා සිටියාය.

ජනාධිපතිවරයා විශ්වාස කළ හැකිදැයි සංදේශය නැගු ප්‍රශ්නයකට පිළිතුරු දුන් අනෝමා ෆොන්සේකා කියා සිටියේ මේ අවස්ථාවේදී තමන් ජනාධිපතිවරයා විශ්වාස කරන බවයි.

මේ සාකච්ඡාවේදී සමාව ඉල්ලා සිටීමක් ගැන කතාබහක් ඇති නොවූ අතර තමන්ගේ දියණියන් ගේ සුව දුක් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් විමසු බවත් අනෝමා ෆොන්සේකා වැඩි දුරටත් ප්‍රකාශ කළාය.

හිටපු හමුදාපතිවරයා නිදහස ලබා විදේශගතවන්නේදැයි විමසු විට අනෝමා ෆොන්සේකා කියා සිටියේ එසේ කිරීමේ අදහසක් නැති බවයි.